යුක්රේන ආක්‍රමණය: යුද්ධය අවසන් කිරීම සඳහා පුටින්ගේ ඉල්ලීම් මොනවා ද?

Vladimir Putin speaks during an event on 18 March 2022

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්ලැදිමීර් පුටින් පසුගිය කාලයේ යුක්රේනයට විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළේ ය

දෙරට අතර යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රුසියානු සහ යුක්රේන නියෝජිතයින් ඉස්තාන්බුල් නුවර දී මුහුණට මුහුණ හමුවිය.

දෙපාර්ශවය මීට පෙර ඔවුන්ගේ ඇතැම් ස්ථාවරයන් ප්‍රසිද්ධියට පත්කර තිබුණි. යුක්රේනය පැවසුවේ සාමය වෙනුවෙන් කරන ඉල්ලීම සලකා බලනමුත් භූමියෙන් කිසිවක් නොදෙන බව යි. රුසියාව යුක්රේනයෙන් "හමුදාකරණය ඉවත්කර ගැනීමට ද, නාසින්ගෙන් තොරකිරීමට ද" ඉල්ලුම් කළ නමුත්, එම ඉල්ලීම්වලින් අර්ථවත් කෙරෙන්නේ කුමක්දැ යි පැහැදිලි නොකළේ ය.

සති පහක් පුරාවට බෝම්බ හෙලීමෙන් නටබුන් වූ නගරවල දහස් ගණන් මරණ සිදුවිය. යුක්රේනය තුළ සහ ඉන් ඔබ්බෙහි මිලියන 10කට වැඩි ජනකායක් අවතැන්ව සිටියි. යුද්ධය අවසන් කිරීම සඳහා වන පුටින්ගේ ඉල්ලීම් මොනවා ද?

'මධ්‍යස්ථ' යුක්රේනයක්

බටහිර මිලිටරි සන්ධානය වන නේටෝහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් යුක්රේනය "මධ්‍යස්ථව" සිටිය යුතු බවට රුසියාව දිගු කලක් තිස්සේ ඉල්ලා සිටියේ ය.

ඇතැම් විශ්ලේෂකයින් මෙය රුසියානු ආක්‍රමණය සඳහා "මූලික හේතුවයැ" යි විශ්වාස කරන බව ජපානයේ වසෙඩා උසස් අධ්‍යයන ආයතනයේ, මධ්‍යස්ථභාවය පිළිබඳ විශේෂඥයෙකු වන පැස්කල් ලොටස් පවසයි.

A handout photo made available by the Ukrainian Presidential Press Service shows Ukrainian President Volodymyr Zelensky during an interview via videolink with Russian media, in Kyiv (Kiev), Ukraine, 27 March 2022

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මධ්‍යස්ථභාවය ගැන සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පෙන්වා දී ඇත

යුක්රේනය තමා කිසිදා නේටෝවට සම්බන්ධ නොවනබවට ප්‍රතිඥාවක් සිය ව්‍යවස්ථාවට අඩංගු කිරීමත්, එම ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා රුසියාව සමග ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමත් සිදුකරන්නැ යි රුසියාව පවසනු ඇති බව ලොටස්ගේ අදහස යි.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මධ්‍යස්ථභාවය ගැන සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පෙන්වා දී ඇතත්, අනාගතයේ දී යුක්රේනය යුරෝපා සංගමයට බැඳීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත.

යුරෝපා සංගම් සාමාජිකත්වය අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක් සමග පැමිණෙනු ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව එම තත්ත්වය දෙස බලන්නේ කෙසේ ද යන්න ද අපැහැදිලි ය.

'හමුදාකරණය ඉවත් කිරීම'

නේටෝ හෝ යුරෝපීය හවුල්කරුවන් නොමැති, මිලිටරිකරණය ද නොවූ යුක්රේනයක් යනු, තවත් රුසියානු ආක්‍රමණයකට ඉඩදෙන තත්ත්වයක් විය හැකි ය.

ලොටස් විශ්වාස කරන්නේ රුසියානු ඉල්ලීමේ වැදගත්ම කරුණ වන්නේ යුක්රේනයේ මිලිටරිකරණය ඉවත්කිරීම නොව, නේටෝ ආයුධ හෝ න්‍යෂ්ටික අවි නොමැති යුක්රේනයක් සකසාගැනීම බව යි.

Ukrainian army soldiers ride a tank on a road near where pro-Russian separatists fired heavy artillery, on the outskirts of the key southeastern port city of Mariupol, on September 5, 2014.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්රේනය රුසියාවේ ආරක්ෂාවට අනාගත තර්ජනයක් නොවන බවට සහතිකයක් අවශ්‍ය බව පුටින් පවසයි

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, ජපානය සිය ආත්මාරක්ෂක බලකාය ප්‍රතිනිර්මාණය කළ යුතු බවට එක්සත් ජනපදය එකඟ වූ අතර, ජාත්‍යන්තර ආරවුල් විසඳීමේ මාධ්‍යයක් ලෙස යුද්ධය භාවිතා කිරීම ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇත.

ඒ වෙනුවෙන් ජපානය සහ එක්සත් ජනපදය ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කළ අතර ජපානයට එරට ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජනපදය මත යැපෙන්නට සිදුවිය.

රුසියාව එතරම් දුරක් නොයනු ඇතිබවත්, යුක්රේනයේ සියලු මිලිටරි හැකියාවන් ඉවත් කිරීමෙන් සෑහීමකට පත්විය හැකිබවත් ලොටස් විශ්වාස කරයි.

'නාසින්ගෙන් තොරකිරීම'

යුක්රේන රජය පාලනය වන්නේ නව නාසි කණ්ඩායම් විසින් බව පුටින් චෝදනාකර ඇත. නමුත් දේශපාලන නිරීක්ෂකයින් ඊට එකඟ නොවේ.

එහෙත්, ව්ලැදිමීර් පුටින් එම චෝදනා ඉදිරිපත් කිරීමෙන් සෝවියට් සංගමයට එරෙහි හිට්ලර්ගේ ප්‍රහාරය පිළිබඳ ප්‍රබල මතකයන් අවදි කරන අතර, ඔහු නැගෙනහිර යුක්රේනයේ රුසියානු බෙදුම්වාදීන්ට එල්ල කරන ප්‍රහාර ද ඒ හා සසඳයි.

නාසිකරණය පිළිබඳ චෝදනාව ජනාධිපති සෙලෙන්ස්කිට එල්ල කෙරෙන පුද්ගලික චෝදනාවකි. ඔහු යුදෙව් පවුලක උපත ලද්දෙකු වන අතර ඔහුගේ මුතුන්මිත්තන් දෙවන ලෝක සංග්‍රාමයේ දී නාසීන් සමග සටන් වැදී තිබේ.

Servicemen of Ukraine's Azov Battalion pray in the Ukraine's second-biggest city of Kharkiv on March 11, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්ත දක්ෂිණාංශික අසොව් බලඇණි සාමාජිකයින් නිල වශයෙන් යුක්රේන හමුදාවේ කොටසකි

ලොටස් පවසන්නේ "නාසින්ගෙන් තොරකිරීම" ඇතැම්විට "පාලන තන්ත්‍රය වෙනස් කිරීම හැඳින්වීම සඳහා වූ රුසියානු යෙදුමක්" විය හැකි නමුත්, යුක්‍රේන හමුදා ප්‍රතිප්‍රහාර එල්ලකර රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමන නැවැත්වීම නිසා මෙම අපේක්ෂාව ඉටුවීම සිහිනයක් බව යි.

රුසියාව තම නම රැකගැනීම සඳහා සෙලෙන්ස්කිට යුක්රේනයේ ජනපතිධුරයේ රැඳී සිටිය හැකියැ යි පිළිගනු ඇති නමුත්, රුසියානු විරෝධයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ යුක්රේනයේ අසොව් බලඇණිය යුක්රේනයේ ජාතික ආරක්ෂක බලකායෙන් ඉවත් කරන ලෙස අවධාරණය කරනු ලැබිය හැකිය. අසොව් බලඇණිය උග්‍ර දක්ෂිණාංශික කණ්ඩායමකි.

ලොටස් පවසන්නේ මෙය "කළ යුතු සුළු දෙයක්" නමුත් "ආරක්ෂක බලඇණියට හානියක් නොවන" බවයි.

ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක්

යුක්රේනය සමග සාම සාකච්ඡා පැවැත්වීමෙන් පසු, කියෙව් වෙත එල්ලවන ප්‍රහාර "සැලකිය යුතු ලෙස" අඩු කරන නව මිලිටරි උපායමාර්ගයක් රුසියාව නිවේදනය කළේ ය.

ඒ වෙනුවට, රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් විසින් පාලනය කෙරෙන නැගෙනහිර යුක්රේනයේ රුසියානු භාෂාව භාවිත වන ප්‍රදේශයන් වෙත අවධානය යොමුවනු ඇත.

ගැටුමේ කේන්ද්‍රස්ථානය වන, ඩොන්බාස් ගංගා ද්‍රෝණියේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ තුළ පිහිටි බෙදුම්වාදී කලාප අත්හරින්නැ යි රුසියාව යුක්රේනයෙන් ඉල්ලා සිටීමට හැකි ය.

A Russian flag flies near Pro-Russia militants sitting atop a 2S1 Gvozdika (122-mm self-propelled howitzer) as a convoy of pro-Russian forces takes a break as they move from the frontline near the eastern Ukrainian city of Starobeshevo in Donetsk region, on February 25, 2015.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශ පාලනය කරන අතර, එම ප්‍රදේශයන් යුක්රේනයෙන් වෙන්විය යුතුයැ යි රුසියාව ඉල්ලා සිටිය හැකි ය

ක්‍රිමියාව

ක්‍රිමියාව රුසියාවට ඈඳාගැනීම නිල වශයෙන් පිළිගන්නා ලෙස ද රුසියාව යුක්රේනයෙන් ඉල්ලා සිටීමට ඉඩකඩ තිබේ.

එම අර්ධද්වීපය 2014 දී රුසියාව විසින් ආක්‍රමණය කරන ලද අතර එය තත්‍යානුකූලව පාලනය කරනු ලබන්නේ රුසියාව ය.

යුක්රේනය මෙම කොන්දේසිය පිළිගන්නේ නම්, එය ඔවුන්ට විශාල භෞමික පාඩුවක් වනු ඇත.

පුටින්ගේ පාලන සමයට පෙර කාලයක, එනම් 1997 දී, රුසියානු-යුක්රේන ගිවිසුමක් මඟින් යුක්රේනයට ක්‍රිමියාවට ඇති අයිතිය පිළිගෙන තිබේ.

රුසියානු භාෂාව

යුක්රේනය තුළ රුසියානු භාෂාව භාවිතය ආරක්ෂා වන බවට තහවුරුවක් ද රුසියානු රජය ඉල්ලා සිටිය හැකි ය.

2014න් පසු රුසියානු රජය සමග ගැටුම තීව්‍ර වූ දා සිට, රුසියානු භාෂාව යුක්රේනයේ දේශපාලන ආරවුලක් බවට පත් විය.

A man looks through a newspaper at a kiosk with Russian newspapers displayed outside in the Crimean port of Sevastopol on March 27, 2014.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්රේන බලධාරීන් එරට තුළ රුසියානු භාෂාව භාවිතයට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇත

2017 දී යුක්රේන උසාවිය පාසල්වල දී රුසියානු භාෂාව ඉගැන්වීම තහනම් කළ අතර, එතැන් සිට රට තුළ රුසියානු බස භාවිතය සීමා කරන වෙනත් පනත් ඇතිකර තිබේ.

ජනවාරි මාසයේ සිට, යුක්රේනයේ සියලුම ජාතික පුවත්පත් සහ සඟරා යුක්රේනියානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ යුතු විය.

එම සියලු කාරණා සම්බන්ධයෙන් පුටින්ගේ ඉල්ලීම් කුමක් වුවත්, දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ යුක්රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ කාලයක් ගතවනු ඇති බව යි.

එකඟතාවයකට පැමිණීම දෙපාර්ශවයටම වැදගත් වන්නේ ය.

එවිට යුක්රේනයට තවත් සිවිල් වැසියන් ඝාතනයවීම වළක්වා ගැනීමට, නගර විනාශවීම හේතුවෙන් වන භෞතික අලාභය අඩුකර ගැනීමට සහ අසල්වැසි රටවලට සරණාගතයින් ගලායාම නතරකර ගැනීමට හැකි වේ.

එසේම රුසියාවට ද බටහිර රටවලින් පනවන ලද ආර්ථික සම්බාධක ඉවත්කර ගැනීමට, සහ තමන්ගේ සොල්දාදුවන්ට සිදුවන බරපතල හානි අවමකර ගැනීමට හැකි වේ.