යුක්රේන ආක්‍රමණය: රුසියානු - යුක්රේන විදේශ ඇමැතිවරුන් එකිනෙකා හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියානු ආක්‍රමණය ඇරඹීමෙන් අනතුරුව ප්‍රථම වරට රුසියානු සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් තුර්කියේ ඇන්ටාලියාහි දී එකිනෙකා හමුවිය.
යුක්රේන විදේශ ඇමති දිමිත්‍රෝ කුලේබා තුර්කි විදේශ අමාත්‍යවරයා විසින් පිළිගන්නා ලද අතර, පසුව, රුසියාවේ සෙර්ගෙයි ලැව්රොව් එහි පැමිණියේ ය.
සාකච්ඡාවන් සිදුකෙරුණේ පුද්ගලිකව වුවත්, රුසියානු සහ යුක්රේන අමාත්‍යවරුන් දෙදෙනාම හමුවෙන් පසු මාධ්‍ය සාකච්ඡාවන්ට සහභාගී විය.
මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කුලේබා ප්‍රකාශ කළේ යුක්රේනයේ බිම් මට්ටමේ මානුෂීය ගැටලු සඳහා විසඳුම් සෙවීමේ උත්සාහයන් දිගටම පවත්වාගෙන යාමට දෙපාර්ශවය එකඟ වූබව යි.
"හරවත් සාකච්ඡාවක් පැවැත්වීමටත්, විසඳුම් සෙවීමටත් හැකියාවක් තිබේ නම් මෙම ආකෘතියෙන්" නැවත හමුවීමට සූදානම්බව කුලේබා පවසයි.
කුලේබා මෙසේ ද කියා සිටියේ ය: "යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම, යුක්රේන සිවිල් වැසියන් දුක් වේදනාවන්ට පාත්රකිරීම නවතා දැමීම, සහ රුසියානු ආක්රමණික හමුදාවන්ගෙන් අපගේ භූමිය මුදා ගැනීම යන අරමුණු ඇතිව මෙම සබඳතාව පවත්වාගෙන යාමට මම සූදානම්."
කුලේබා පවසන්නේ ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් දෙකක් ඇතිබව යි; මරියුපොල් සිට මානුෂීය කොරිඩෝවක් සංවිධානය කිරීම සහ පැය 24ක සටන් විරාමයකට එළැඹීම යි.
මරියුපෝල් සිට මානුෂීය කොරිඩෝව පිහිටුවීමේ මූලික කටයුතු සූදානම සඳහා රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් ක්‍රෙම්ලිනයේ තීරකයින් සමග සන්නිවේදනය කරනු ඇතැ යි තමා බලාපොරොත්තු වනබව ඔහු ප්‍රකාශ කරයි.
යුද්ධය නැවැත්වීමේ උවමනාවක් රුසියාවට නැතිනම් යුද්ධය නැවැත්විය නොහැකිබව ඔහු වැඩිදුරටත් පවසයි.
රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් ද කුලේබා සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය ඇමතුවේ ය.
ඔහු පවසන්නේ ඔවුන් "වැඩිමනක් සාකච්ඡා කළේ මානුෂීය ගැටලු සම්බන්ධයෙන් අපගේ තුර්කි මිතුරන්ගේ මුලපිරීම" පිළිබඳවබව යි.
"ඊනියා පළාත්බද ආරක්ෂක හමුදාවන්" විසින් "සිවිල් ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින" බවට වන රුසියානු චෝදනා නැවතත් ප්‍රකාශ කළ ඔහු, ඔවුන් "මිනිස් පලිහක් ලෙස" භාවිතා කෙරෙතැ යි ද පැවසුවේ ය.
ලැව්රොව් පවසන්නේ රුසියාව සිවිල් වැසියන් සඳහා මානුෂීය කොරිඩෝව අඛණ්ඩව ක්‍රියාත්මක කරනබව යි.

රුසියාවේ දෘෂ්ටිකෝණය අනුව යුද්ධය වර්ධනය වන්නේ කෙසේදැ යි ඔහුගෙන් විමසූ විට පරිවර්තකයෙකු හරහා ඔහු පැවසුවේ එය "විශේෂ මෙහෙයුමක්" බව යි. එය "සමස්තයක් වශයෙන් සැලසුම්කළ ආකාරයටම ඉදිරියට යන" බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
යුක්රේනයට ආයුධ සැපයීමෙන් බටහිර රටවල් "භයානක ලෙස ක්‍රියාකරන" බවට ලැව්රොව් චෝදනා කරයි. ඔහු කියා සිටියේ මෙය "ඔවුන්ගේ සියලු ඊනියා ප්‍රතිපත්ති හා සාරධර්ම" උල්ලංඝනය කිරීමක්බව යි.
වෙනත් රටවලට පහරදීමේ කිසියම් සැලැස්මක් රුසියාව සතුදැ යි විමසූ විට එසේ නොමැතිබව පැවසූ ලැව්රොව්, යුක්රේනයට පහර නොදුන්බවට වන රුසියානු ස්ථාවරය පුනරුච්චාරණය කළේ ය.
පෙන්ටගනය ජෛව අවි නිර්මාණය කිරීමට යොදාගත හැකි රෝගකාරක නිපදවීම සඳහා යුක්රේන භූමිය භාවිතා කරනබව ඔහු චෝදනා කරයි. මෙය "විකාර" චෝදනාවකැ යි එක්සත් ජනපදය ප්‍රකාශකර ඇත.
ධවල මන්දිරය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කිරීම "පුදුමයක් නොවනබවත්", ඇමරිකානුවන් එය "ඉතා රහසිගතව" සිදුකළ නිසා මේ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැතැ යි යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ප්‍රකාශකර ඇතිබවත් ලැව්රොව් පවසයි.
යුක්රේනයේ නවතම තත්ත්වය පිළිබඳ සාරාංශයක් මෙන්න:
- තුර්කියේ ඇන්ටාලියාහි දී රුසියාවේ සහ යුක්රේනයේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාම සාකච්ඡා මඟින් සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමකට එළැඹීමක් සිදුවූයේ නැත
- යුක්රේනය, රුසියානු හමුදා විසින් වටලනු ලැබූ මරියුපොල් ඇතුළු නගරවලින් සිවිල් වැසියන්ට ඉවත්වීමට සහාය වීම සඳහා "මානුෂීය කොරිඩෝ" හතක් විවෘත කරනබව එරට නියෝජ්‍ය අගමැතිනී ඉරීනා වෙරෙස්චුක් පවසයි
- දකුණු වරාය නගරයක් වන මරියුපොල්හි මාතෘ හා ළමා රෝහලකට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු තිදෙනෙකු මියගිය බව නිලධාරීහු පවසති

- චෙල්සී පාපන්දු කණ්ඩායමේ හිමිකරු රොමාන් ආබ්රමොවිච්ට එරෙහිව එක්සත් රාජධානියේ රජය විසින් සම්බාධක පැනැවිණි
- යුක්රේන ජාතිකයින්ට එක්සත් රාජධානියට පැමිණීම සඳහා නව විධිමත් ප්‍රවේශයක් ලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මක වනබව එරට ස්වදේශ කටයුතු ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ප්‍රීති පටෙල් නිවේදනය කළා ය
- සිය ජෙට් යානා ඇණිය සෘජුවම යුක්රේනයේ සහායට ලබාදීම වෙනුවට එක්සත් ජනපදය හරහා ලබාදීමට පෝලන්තය කළ යෝජනාව එක්සත් ජනපද පරිපාලනය ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසු එරට උප ජනාධිපති කමලා හැරිස් පෝලන්තයට පැමිණ සිටියි
- යුක්රේනයට බලහත්කාර හමුදා යෙදවීමක් නොකරනබවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබාදුන් සහතිකවීම මේ සතියේ ද උල්ලංඝනය කරමින්, හමුදා කාණ්ඩ එවනු ලැබූබව එක්සත් රාජධානිය පවසයි
- රුසියානු හමුදා විසින් රාත්‍රියේ දී කාර්කිව් නගරය ආසන්නයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ලකළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ද ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවා වාර්තා කරයි
- ධවල මන්දිර නිලධාරීන් අනතුරු අඟවා සිටින්නේ රුසියාව වඩ වඩාත් බලාපොරොත්තු කඩවූ ස්වභාවයකට පත්වෙමින් සිටින අතර, ඉදිරි දිනවල දී යුක්රේන සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි ප්‍රහාර එල්ලකිරීමට යොමුවිය හැකිබව යි
- මේ වන විට යුක්රේනයේ දී රුසියානු හමුදා සෙබළුන් 5,000ත් 6,000ත් අතර ප්‍රමාණයක් මියගොස් ඇතිබවට එක්සත් ජනපද නිලධාරීන් ගණන් බලා ඇත
- මාතෘ හා ළමා වාට්ටු විනාශ කරමින් මරියුපෝල් නගරයේ රෝහලකට රුසියාව විසින් බෝම්බ හෙළීම යුද අපරාධයක්බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි
- තව තවත් පුද්ගලික සමාගම් රුසියාවේ ව්‍යාපාර අවසන් කිරීමට ප්‍රතිඥා දෙමින් සිටින අතර, රටේ ආර්ථික හුදකලාව වර්ධනය වෙමින් පවතියි









