ලොව පැරණිතම මමී මත දිවි ගෙවන වැසියෝ

A Chinchorro mummy in the Museo Universidad de Tarapacá in San Miguel de Azapa. The mummy is of a male child aged between six and seven years old and radiocarbon dating suggest it us more than 4,100 years old.

ඡායාරූප මූලාශ්‍රය, Courtesy University of Tarapacá

ඡායාරූප ශීර්ෂ වැකිය, චින්චොරෝ ජනයා වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද මමීකරණයට ලක් කළෝ ය. මේ සිටින්නේ වයස අවු. 6 - 7 අතර කුඩා දරුවෙකි

"සොහොන් බිමක් උඩ ජීවත් වෙන එක සමහර මිනිස්සුන්ට අමුතු දෙයක් විදියට පේන්න පුළුවන්. නමුත් අපි ඒකට පුරුදුවෙලා," චිලී රටේ අරීකා වරාය නගරයේ ජීවත්වන අනා මරීයා නියෙත්තො පවසයි.

අරීකා නගරය ගොඩනංවා ඇත්තේ පේරු දේශ සීමාවට ආසන්නයේ ඇටකාමා කාන්තාරයේ වැලිකඳු මත ය. ඇටකාමා ලොව වියළිතම කාන්තාරය යි.

නමුත්, 16 වන ශතවර්ෂයේ දී මෙම නගරය පිහිටුවීමට බොහෝ කලකට පෙර, මෙම භූමිය "චින්චොරෝ" නම් ජන කොට්ඨාසයට නිවහන වුණි.

පසුගිය ජුලි මාසයේ දී චින්චොරෝ සංස්කෘතිය ප්‍රසිද්ධියක් ලැබුවේ, එම ජනතාව විසින් බෙහෙත් කවා සංරක්ෂණය කෙරුණු මළ සිරුරු (මමී) සිය ගණනක් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සංවිධානයෙන් (යුනෙස්කෝ) සිය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමත් සමග ය.

චින්චොරෝ මමී ප්‍රථම වරට ලේඛනගත වී තිබෙන්නේ, 1917 දී වෙරළක තිබී සංරක්ෂිත මළ සිරුරු කීපයක් සොයාගත් මැක්ස් ඌලේ නම් ජර්මානු ජාතික පුරාවිද්‍යාඥයා විසිනි. නමුත් ඒවායේ වයස නීර්ණය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ පර්යේෂණ කරන්නට සිදුවිය.

අවසානයේ දී විකිරණශ්‍රිල කාබන් කාල නිර්ණයෙන් පෙන්නුම් කෙරුනේ මෙම මමී වසර 7000කටත් වඩා - එනම්, චිරප්‍රසිද්ධ ඊජිප්තු මමීවලටත් වඩා සහස්‍ර දෙකකටත් වැඩියෙන් පැරණිබව යි.

line

චින්චොරෝ සංස්කෘතිය

A Chinchorro mummy in the Museo Universidad de Tarapacá in San Miguel de Azapa. The mummy is of a male adult estimated to be from between 3500-3000BC

ඡායාරූප මූලාශ්‍රය, Courtesy University of Tarapacá

line
  • ක්‍රිස්තු පුර්ව 7,000 සිට 1,500 දක්වා පැවති පූර්ව පිඟන් මැටි සංස්කෘතිය
  • වාඩි වී සිටින ධීවරයින් සහ දඩයම් කරන්නන්
  • වර්තමාන උතුරුදිග චිලියේ සහ දකුණු පේරු ලෙස හඳුන්වන ප්‍රදේශයේ ජීවත් විය
  • ඔවුන්ගේ මළවුන් සංකීර්ණ හා උද්වේගකර ආකාරයෙන් මමිකරණය කර ඇත
  • මිය ගිය අයගේ මතකයන් සජීවීව තබා ගැනීමේ මාර්ගයක් ලෙස මමිකරණය ආරම්භ වූ බව විශ්වාස කෙරේ
line

එමඟින් කෘත්‍රිමව මමීකරණය කෙරුනු මළ සිරුරු සම්බන්ධ පැරණිතම පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යයබවට චින්චොරෝ මමී පත්වේ.

චින්චොරෝ සංස්කෘතිය පිළිබඳ විශේෂඥයෙකු වන මානව විද්‍යාඥ බර්නාඩෝ අරියසා පවසන්නේ එම ජනයා සිරිතක් වශයෙන් මමීකරණය සිදු කළබව යි. එයින් අදහස් කෙරෙන්නේ, ස්වභාවිකවම මමීකරණය වූ චින්චොරෝ සිරුරු ද කැණීම් බිම්වලින් හමුවී ඇතිවා වුවත්, චින්චොරෝ ජනයා සිය මළවුන්ගේ සිරුරු වියළි දේශගුණය මඟින් ස්වභාවිකවම මමීකරණය වීමට ඉඩ නොදී, ඒවා සංරක්ෂණය කිරීම සඳහා අවමංගල පිළිවෙත් පිළිපැදිබව යි.

මෙහිදී සිරුරේ සිදුකළ කුඩා කැපුම් හරහා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පිටතට ගෙන සිරුරු කුහරය වියළෙන්නට හැර, සම ද ඉරා ඉවත්කොට ඇතිබැව් මානව විද්‍යාඥ අරියසා පවසයි.

ඉන්පසු ස්වභාවික කෙඳි වර්ගවලින් සිරුරු කුහරය පුරවා, සිරුර කෙලින් තැබීමේ අරමුණින් එය තුළට රිටි දමන චින්චොරෝවරු, පසුව පන්ගස් ආධාරයෙන් සම මසා දමති.

ඔවුන් මමියේ හිස මතට ඝන, කලු කෙස් අමුණන අතරම, මමියේ මුහුණට මැටි ආලේපකර, දෑස සහ මුඛය සඳහා විවරයන් තැබූ වෙස්මුහුණක් පළඳවයි.

Chinchorro mummy of a baby on display at the San Miguel De Azapa Archaeological Museum

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චින්චොරෝවරු වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් සහ ළදරුවන් ද මමීකරණයට ලක් කළෝ ය
Chinchorro mummy on display in the Chilean Museum of Pre-Columbian Art in Santiago, Chile.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුහු මමීයේ මුහුණ මැටි වෙස්මුහුණුවලින් ආවරණය කළහ
A mummy of a girl. Chile, Antofagasta, San Pedro de Atacama

ඡායාරූප මූලාශ්‍රය, Eye Ubiquitous

ඡායාරූප ශීර්ෂ වැකිය, මමී සිරසට කලු පැහැ, ඝන කෙස් සවිකෙරුණි

අවසානයේ දී කැපී පෙනෙන රතු හෝ කලු පැහැයෙන් සිරුර පින්තාරු කෙරෙයි. මේ සඳහා වර්ණක නිපදවීමට යොදාගෙන ඇත්තේ යම් ඛණිජ, ගුරු ගල්, මැංගනීස් සහ යකඩ ඔක්සයිඩ යි.

මානව විද්‍යාඥ අරියසා පවසන්නේ චින්චොරෝවරුන්ගේ මමීකරණය කිරීමේ පිළිවෙත් සහ අභිචාර විධි, ඊජිප්තුවරුන්ගේ ක්‍රමයන්ට සාපේක්ෂව කැපී පෙනෙන සේ වෙනස්බව යි.

ඊජිප්තුවරුන් මමීකරණය සඳහා තෙල් වර්ගත්, වෙලුම් පටිත් භාවිතා කළා පමණක් නොව, මමීකරණය වෙන්ව තිබුණේ ද ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයින්ට පමණි. නමුත් චින්චොරෝවරු පිරිමින්, ගැහැණුන්, ළමුන්, අතදරුවන් පමණක් නොව කළලයන් ද ඔවුන්ගේ තරාතිරම නොබලා මමීකරණය කළෝ ය.

මළවුන් සමග වාසේ

පසුගිය ශතවර්ෂය පුරාවට අරීකා නගරයෙන් සහ අනෙකුත් කැණීම් බිම්වලින් සිය ගණනක් මමී හමුවීම නිසා, මළ සිරුරු සමග හෝ බොහෝවිට ඒවා මත දිවි ගෙවීමට ප්‍රදේශවාසීන් හුරුව සිටියි.

ගොඩනැගිලි කටයුතු සිදුකරන අතරේ මිනිස් සිරුරුවල නෂ්ටාවශේෂ හමුවීමත්, ඉව ඔස්සේ පොළොව හාරන සුනඛ සුරතලුන් මමී කොටස් ගොඩගැනීමත් මෙහි ප්‍රදේශවාසීන් පරම්පරා ගණනක් තිස්සේ අත්විඳි යමකි. නමුත් මේ මිනිස් නෂ්ටාවශේෂ කෙතරම් වැදගත්දැ යි ඔවුනට වැටහීමට දිගු කලක් ගතවිය.

"සමහර වෙලාවට මෙහෙ මිනිස්සු අපට කියනවා ඉස්සර ළමයි හිස්කබල්වලින් ෆුට්බෝල් ගහපු හැටි, මමීවල ඇඳුම් පැළඳුම් ගලවගත්ත හැටි. ඒත් දැන් ඒ අය දන්නවා මොකක් හරි හම්බවුණාම ඒවා අතපත නොගා අපට දැනුම්දෙන්න," පුරාවිද්‍යාඥ ජනීනා කම්පෝස් ෆුවෙන්තෙස් කියයි.

චින්චොරෝ සංස්කෘතියේ වැදගත්කම යුනෙස්කෝව විසින් හඳුනාගෙන තිබීම ගැන ප්‍රදේශවාසීන් දෙපලක් වන අනා මරීයා නියෙත්තො සහ පඔලා පිමෙන්තේල් සිටින්නේ දැඩි සතුටකිනි.

Ana María Nieto (left) and Paola Pimentel

ඡායාරූප මූලාශ්‍රය, Ivan Astudillo

ඡායාරූප ශීර්ෂ වැකිය, අනා මරීයා නියෙත්තො (වමේ) සහ පඔලා පිමෙන්තේල්, වැඩි වැඩියෙන් ජනයා මමී පිළිබඳව උගෙනීම ගැන උද්යෝගයෙන් පසුවෙති

මේ කාන්තාවන් දෙදෙනා කැණීම් බිම් දෙකක් අසල වෙසෙන ප්‍රදේශවාසීන්ගෙන් සැදුනු සංගම් මෙහෙයවන අතර, චින්චොරෝ සංස්කෘතියේ වැදගත්කම ප්‍රජාවට අවබෝධ කරවීමටත්, එම වටිනා කැණීම් බිම් ආරක්ෂා වනබවට වගබලා ගැනීමටත්, තදාසන්නයේ පිහිටි තරපකා විශ්වවිද්‍යාලයයේ (Tarapacá University) විද්‍යාඥයින් කණ්ඩායමක් සමග සමීපව කටයුතු කරති.

අසල්වාසියේ පිහිටි කෞතුකාගාරයකට අන්‍යොන්‍ය ලෙස ක්‍රියාකාරී වන අංශයක් ලබාගැනීමට ද සැලසුම් සකස් වී තිබේ. සවිගැන්වූ වීදුරුවලින් තැනූ කුටිවල චින්චොරෝ නෂ්ටාවශේෂ තබා නරඹන්නන් සඳහා ප්‍රදර්ශනය කිරීම මෙහි අරමුණ යි. මෙහි දී ක්‍රියාත්මක කරනු ඇති සංකල්පය වන්නේ, සිය උරුමය අමුත්තන්ට වර්ණනා කළ හැකිවන පරිදි ප්‍රදේශවාසීන් මෙහි මඟපෙන්වන්නන් වශයෙන් පුහුණු කිරීම යි.

මේ වන විට ප්‍රදර්ශනයට තබා ඇත්තේ, චින්චොරෝ මමී 300කටත් වැඩි ගණනකින් ඉතා කුඩා කොටසක් පමණි. ඒවායින් වැඩි ප්‍රමාණයක් සැන් මිගෙල් ඩි අසාර්පා පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත්කොට ඇත.

තරපකා විශ්වවිද්‍යාලයයට අයත් මෙම කෞතුකාගාරය අරීකාහි සිට මිනිත්තු 30ක දුරකින් පිහිටා ඇති අතර, මමිකරණ ක්‍රියාවලිය පෙන්නුම් කෙරෙන ආකර්ශනීය නිදර්ශක එහි ප්‍රදර්ශන කෙරේ.

මමී වැඩි ප්‍රමාණයක් තැන්පත් කළ හැකි අන්දමේ වඩා විශාල කෞතුකාගාරයක් එහි ඉදිකිරීමට සැලසුම් කෙරෙමින් පැවතියත්, මමී ක්‍රමයෙන් දිරාපත් නොවනු පිණිස නියමාකාරව සංරක්ෂණය කෙරෙතැ යි සහතික වීම සඳහා විශාල මුදලක් ද අවශ්‍ය ය.

අරීකා සහ ඒ වටා ඇති කඳුකරයේ තවමත් අනාවරණය නොවූ වස්තු රැසක් සැඟවී ඇතැ යි මානව විද්‍යාඥ අරියසා සහ පුරාවිද්‍යාඥ ජනීනා කම්පෝස් විශ්වාස කරයි. නමුත් ඒවා ගවේශනය කිරීමට නම් තවත් බොහෝ සම්පත් අවශ්‍ය වේ.

නගරාධිපති ජෙරාඩෝ එස්පින්දොලා රෝහාස්ගේ අපේක්ෂාව වන්නේ, ලෝක උරුම ලැයිස්තුවට මමී ද ඇතුළත් කිරීම සිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වැඩි දියුණුවීමටත්, අමතර අරමුදල් ගලා ඒමටත් හේතුවනු ඇතිබව යි.

Mayor Gerardo Espindola Rojas poses for a photo at Cuevas de Anzota

ඡායාරූප මූලාශ්‍රය, Felipe Tobar Alduante

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙරාඩෝ එස්පින්දොලා රෝහාස්ට අවශ්‍යව ඇත්තේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ප්‍රජාව විසින් නෙළා ගැනීම යි

නමුත් ඕනෑම සංවර්ධනය කටයුත්තක් අවට ප්‍රජාව සමග සහයෝගයෙන්, පුරාවිද්‍යාත්මක අඩවි ආරක්‍ෂා කරමින්, නිවැරදි ක්‍රමයට සිදුකළ යුතුබව ඔහු දනියි.

"පරණ නටබුන් උඩ තනපු රෝමේ වගේ නෙවෙයි, අරීකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ මිනිස් නෂ්ටාවශේෂ උඩ. අපි මේ මමී ආරක්ෂා කරන්න ඕනෑ."

මෙහි නගර සැලසුම්කරණ නීති ක්‍රියාත්මක වන අතර, වටිනා නෂ්ටාවශේෂයන්ට හානි නොවෙතැ යි වගබලා ගැනීම සඳහා ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන ඕනෑම අවස්ථාවකට පුරාවිද්‍යාඥයින් සහභාගී වනබව ඔහු කියයි.

සංචාරක ආකර්ශනයන්ගෙන් මුදල් ගැරීමේ අරමුණෙන් සංචාර මෙහෙයවන්නන් සහ බහුජාතික සමාගම් විසින් ඉඩම් මිළයට ගැනුණු චිලියේ ඇතැම් ප්‍රදේශවල මෙන් නොව, අරීකාහි උරුමය එහි ජනයා අතේ රැඳිය යුතුයැ යි ද, ප්‍රදේශයේ ප්‍රජාවට ප්‍රතිලාභ ගෙන දිය යුතුයැ යි නගරාධිපති එස්පින්දොලා තරයේ විශ්වාස කරයි.

මමී ලැබූ මේ නව ප්‍රසිද්ධිය සියලුදෙනාටම වාසිදායක වීම ඒකාන්තබව අසල්වැසියන්ගේ සංගමයේ සභාපති අනා මරීයා නියෙත්තොට සහතික ය.

"මේ නගරය පුංචි වුණාට, මිනිස්සු බොහොම මිත්‍රශීලි යි. අපට ඕනේ ලෝකෙ වටෙන්ම සංචාරකයිනුත්, විද්‍යාඥයිනුත් මෙහෙ ඇවිත් මේ අදහන්න බැරි විදියේ චින්චොරෝ සංස්කෘතිය ගැන ඉගෙනගන්න යි. අපි අපේ ජීවිත කාලයම ගතකළේ මේක එක්ක යි."