කුරුවිට, බටදොඹ ලෙනෙන් හමු වූ 'සිංහයා' වසර අටකට පසු 'ව්‍යාඝ්‍රයෙකු' වූ හැටි ඔබ දන්නවාද ?

- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ මෙන්ම පුරාණ කලා නිර්මාණවල සිංහ රුව දැකිය හැකිය. විශේෂයෙන් සිංහල ජාතිය සහ සිංහයා අතර බැඳුනු පුරාවෘත්ත අපි අසා ඇත්තෙමු. එමෙන්ම අතීතයේදී සිංහයෙකු ජීවත් වීම නිසා 'සිංහරාජ වනාන්තරය' වැනි නම් භාවිතයට පැමිණි බවට ද ජනප්‍රවාද පවතී.
ශ්‍රී ලාංකිකයන්ට සිංහයා මේ තරම් සමීප වූයේ කෙසේද? සැබවින්ම සිංහයන් ශ්‍රී ලංකාවේ වනාන්තරවල වාසය කළාද?
ශ්‍රී ලංකාවේ සිංහයන් ජීවත් වූ බවට සනාථ කිරීම සඳහා දැනට අප සතුව ඇති එකම පුරාවිද්‍යාත්මක සාක්ෂිය වන්නේ 1936දී කුරුවිට, ඒදන්ඩෙවල, පන්විල ප්‍රදේශයේ මැණික් පතලකින් සොයාගත් පොසිලභවනය වූ සිංහයෙකුගේ චාර්වක දතකි. පොළව මට්ටමේ සිට අඩි 19ක් ගැඹුරින් සොයාගත් එම සිංහ දත කෞතුකාගාරයේ සිටි අධ්‍යක්ෂවරයෙකු වූ පී.ඊ.පී දැරණියගල විසින් බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබේ.
සිංහ දත සමග එම මැණික් පතලෙන් හිපපොටේමස්, කඟවේනා (රයිනෝ) සහ වත්මන් අලියාගේ පූර්වජයා වන Elephas maximus sinhalaeyus ලෙස හඳුන්වන වඳ වී ගිය හස්තියාට අයත් පොසිල ද සොයා ගන්නා ලදි.
ඊට අමතරව අතීතයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාඝ්‍රයන් සහ ගවරා ජීවත් වූ බවට සනාථ කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් ද මේ වනවිට හමුවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, KELUM MANAMENDRAARACHCHI
අවුරුදු එක්ලක්ෂ පනස්දහසක් හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ සිංහයන් සහ හිපපොටේමස් එකම කාල පරිච්ඡේදයක ජීවත් වූයේ යයි විශ්වාස කරන බව සත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි පවසයි.
වඳ වී ගිය සතුන්ගේ පොසිල රත්නපුරයෙන් හමුවන්නේ ඇයි ?
අද අප ජීවත් වෙන්නේ අදින් වසර 11,700කට පෙර ආරම්භ වූ හොලෝසීන යුගයේය. ඊට කලින් පැවතියේ ප්ලයිස්ටොසීනය යුගය හෙවත් අවසාන ගැසියර සමයයි. ඒ මීට වසර 11,700 ත් වසර ලක්ෂ 26ත් අතර කාලය වේ. සිංහයන්, ව්‍යාඝ්‍රයන් වැනි වඳ වී ගිය සතුන් ජීවත්ව තිබෙන්නේ එම ප්ලයිස්ටොසීනය යුගයේය.
ශ්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීනය යුගයේ ජීවත්ව වඳ වී ගිය සතුන්ගේ පොසිල ප්‍රධාන වශයෙන් හමුවන්නේ රත්නපුරය කේන්ද්‍ර කරගත් සබරගමුව ප්‍රදේශයේ වූ දියළු තැන්පතු (Alluvial) වලිනි. පොසිලවලින් 90%ක් පමණ හමුවී තිබෙන්නේ රත්නපුරයෙනි. රත්නපුරයට අමතරව මොණරාගල සහ බදුල්ල ආශ්‍රිතව පිහිටි ලුණුගල, අඩාවත්ත මැණික් පතල් වලින් ද දකුණු පළාතේ කලමටියෙන් ද කලාතුරකින් ප්ලයිස්ටොසීන පොසිල හමුවී තිබේ.
ප්ලයිස්ටොසීනය යුගයේ රත්නපුර අවධිය (Pleistocene - The Rathnapura Phase) සැලකූ විට එය වර්ෂා වනාන්තර සහිත සැවනා පරිසරයකි. එමෙන්ම අධික වර්ෂාවකින් ජලය ලැබුණු ගංගා සහ විශාල විල්වලින් සමන්විත වූ බවට පුරාවිද්‍යාඥයෝ පවසති.

"පැරණි ගංගාවල පතුල් තමයි මිනිස්සු මැණික් පතල් හැටියට හාරන්නේ. රත්නපුරයේ තෙත බරිත පොළව සතුන්ගේ අස්ථි කොටස් සුරක්ෂිත වෙන්නත් ඒවා පොසිලභවනය වෙන්නත් හොඳ තත්වයක් නිර්මාණය කරනවා. ඒ කාලේ රත්නපුරයේ විතරක් නෙමෙයි, අනෙකුත් ප්‍රදේශවලත් සිංහයෝ ජීවත් වෙන්න ඇති. නමුත් අපිට අද වෙනකම් සාධක හමුවෙලා නෑ. ඒ වගේම අනෙක් පළාත්වල, අපි හිතමු වියළි කලාපයේ කියලා. දැඩි උෂ්ණත්වය සහ සූර්යාලෝකය පතිතවීම එම ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය විනාශ වෙන්න හේතු වෙන්න ඇති. සමහර විට පසුකාලීනව හම්බෙන්නත් පුළුවන්," යනුවෙන් සත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි බීබීසී සිංහල සේවයට පැවසුවේය.
බටදොඹ ලෙනෙන් හමුවූ ව්‍යාඝ්‍රයා
ආචාර්ය ශිරාන් දැරණියගලගේ මූලිකත්වයෙන් 1982 දී කුරුවිට බටදොඹ ලෙනෙහි කැණීම ආරම්භ කෙරිණ. එහිදී බලන්ගොඩ මානවයා විසින් එළියට ගොස් දඩයම් කරගෙනවිත් අනුභව කරන ලද සතුන්ගේ අස්ථි සහ දත් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ගොඩගන්නා ලදි. කීට විද්‍යාඥ පී බී කරුණාරත්න සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජූඩ් පෙරේරා සමග එම අස්ථි විශ්ලේෂණයට 1985 වසරේදී කැලුම් මනමේන්ද්‍රආරච්චි සම්බන්ධ වී තිබුණි.
"බටදොඹ ලෙනේ හතරවන සහ පස්වන ස්ථරවල කැනීම් වලදී මට ලැබුණා සුවිශේෂී ඇඟිලි පුරුක් සහ දත් කෑලි හතරක්. ඒකෙන් දෙවන ඇඟිලි පුරුක සම්පූර්ණයි. කිසිම පළුද්දක් වෙලා තිබුණේ නෑ. අපි ඒ වෙලාවේ තීරණය කළා ඒක සිංහයෙකුගේ කියලා. මම ඒ කාලේ හුඟක්ම ලාබාලයි. මම කිවුව ඒක ශක්තිමත් මදි කියලා හිතෙන්න ඇති. ආචාර්ය ශිරන් දැරණියගල මහතා 1986දී මේක යැවුවා බ්‍රිතාන්‍යට," යනුවෙන් කැලුම් මනමේන්ද්‍රආරච්චි අතීතය සිහිපත් කළේය.
ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ක්ෂීරපායින් පිළිබඳ විශේෂඥවරියක වූ ආචාර්ය ක්ලුටන් බ්‍රෝක් විසින් ද එම අස්ථි පරීක්ෂා කර බලා ඒවා සිංහයෙකුට අයත් බවට නිගමනය කර තිබූ බව කැලුම් මනමේන්ද්‍රආරච්චි පවසයි.
"ඊට පස්සේ මම 1994 ඉඳලා මේ ඇඟිලි පුරුක සහ දත් කෑලි අරගෙන පරීක්ෂණ කරන්න ඉන්දියාව, එංගලන්තය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ඇමරිකාවට ගියා. ඒ කෞතුකාගාරවල තියෙන සිංහ සහ ව්‍යාඝ්‍ර ඇඟිලි පුරුක් සිය ගණනක් මැන්නා. ඒ දත්ත ගණිත ක්‍රමයකට ඇතුළත් කළ පසු ඒක සිංහයන්ට නොව ව්‍යාඝ්‍රයාට අයත් එකක් බව තහවුරු වුණා. ඒ අනුව ලංකාවේ ව්‍යාඝ්‍රයා හිටියා කියලා පළමු වතාවට තහවුරු කරලා මම 2005 අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කළා," යනුවෙන් කැලුම් මනමේන්ද්‍රආරච්චි කියා සිටියේය.
එම සොයා ගැනීම වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානයක් ද හිමි විය. ව්‍යාඝ්‍රයාගේ එම ඇඟිලි පුරුක වසර 17,000ක් පැරණි එකකි.
ලංකාවේ ප්‍රථම වතාවට වඳ වී ගිය සතෙකුගේ අස්ථි කොටසක් කාබන් 14 පරික්ෂාවට ලක් කර කාල නිර්ණය කිරීම සඳහා එම පොසිල යොදා යෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ ජීවත් වූ ව්‍යාඝ්‍රයන්ගේ පොසිල ගම්පහ, පොත්ගුල ලෙනෙන් (2008-2009) සහ බුලත්සිංහල පාහියන් ලෙනෙන් (2012) සොයාගෙන තිබේ. මීට අමතරව සිංහයෙකුගේ හෝ ව්‍යාඝ්‍රයෙකුගේ රදනක දතක් 2008දී කුරුවිට මැණික් පතලකින් හමුවිය. (එම දතෙහි කොටසකට හානි සිදුවී තිබීම නිසා සිංහයෙකුගේ ද නැතිනම් ව්‍යාඝ්‍රයෙකුගේ ද යන්න නිශ්චිතව කිව නොහැක.)
ලුණුගලින් ගොඩගත නොහැකි වූ 'රයිනෝ ඔලු දෙක'
නමුනුකුල කඳුවැටිය ආසන්නයේ පිහිටි ලුණුගල, අඩාවත්ත ප්‍රදේශයේ කැණීම් වලදී රයිනෝසිරස් සතුන්ගේ හිස් කබල් දෙකක් සොයාගැනීමට හැකි වුව ද ඒවා ගොඩට ගැනීමට නොහැකි වී තිබුණි. එහෙත් ඉන් දත් කිහිපයක් පමණක් ගොඩ ගැනීමට හැකි විය.
"ඒ රයිනෝසිරස් හිස් කබල් දෙක හමුවුණේ අඩි 62ක් ගැඹුරු මැණික් පතලකින්. අවාසනාවකට ලොකු වැස්සක් වැහැල ඒ හිස්කබල් දෙක ගහගෙන ගියා. ඒ හිස්කබල් දෙක තවම පොළව යට තියෙනවා. හැබැයි ඒකෙ තිබුණු දත්ටික ගලවාගෙන ආවා එතන හිටපු තරුණයින්," යනුවෙන් සත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි කියා සිටියේය.
එම රයිනෝසිරස් දත් අදින් වසර 80,000ක් පැරණි බවට විද්‍යාත්මකව තහවුරු කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පිහිටි ෆාහියන් ලෙනේ කැනීම් වලදී රයිනෝසිරස් (කඟවේනා) සතෙකුගේ දතක කොටසක් 2010 වසරේදී සොයා ගැනුණි. රයිනෝසිරස්ට අයත් කොටසක් ප්‍රාග් ඓතිහාසික ගුහාවකින් හමු වූ ප්‍රථම අවස්ථාව එය වේ.
වඳ වී ගිය සතුන් ජීවමාන ප්‍රමාණයෙන් දකින්න අවස්ථාවක්
අතීතයේදී ශ්‍රී ලංකාවේ ජිවත් වූ, වඳ වී ගිය සතුන් ජීවමාන ප්‍රමාණයෙන් දැක ගැනීම සඳහා රත්නපුරය කෞතුකාගාරයට අයත් එළිමහන් භූමියේ එම සතුන් ප්‍රතිනිර්මාණය කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ඒකකය සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව එක්ව ඒවා නිර්මාණය කර තිබේ.
"ඒකෙ අධීක්ෂණය කළේ මම. සම්පූර්ණ සතාව කොළයක ඇඳලා සතාගේ මිමි, මූලික රූප විද්‍යාත්මක ලක්ෂණ ආදිය විශ්වවිද්‍යාලවල විශේෂ පුහුණුව ලැබූ ඇඹුම් ශිල්පීන්ට ලබා දුන්නා. අපිට අවශ්‍ය වුණේ පාෂාණභූත විද්‍යාව සහ පුරාණ ජෛව විවිධත්වය ගැන පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට සහ ජනතාවට අවබෝධයක් ලබා දෙන්නයි," යනුවෙන් සත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි පවසයි.
අවසාන ග්ලැසියර සමයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ සතුන්
නූතන මානවයා උපත ලැබුවේත්, වර්තමාන භූමියත්, අද දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිර්මාණය කළේත් අවසාන ග්ලැසියර සමය හෙවත් ප්ලයිස්ටොසීනය යුගයයි.

අවසාන වරට වඳ වී ගිය සත්වයා ලෙස සැළකෙන්නේ ගවරයා ය.
ප්ලයිස්ටොසීනය යුගයේ රත්නපුර අවධියේ වඳ වී ගිය සතුන්
- අලි විශේෂ තුනක්
- රයිනෝසිරස් විශේෂ දෙකක්
- හිපපොටේමස් - Hexaprotodon sinhaleyus
- සිංහයා - Hypselephas hysudricus
- ව්‍යාඝ්‍රයා - Panthera tigris
- ගවරා - Bos sinhaleyus
- දඩයම් බල්ලා - Cuon javanicus sinhaleyus
- කලු කැස්බෑවා - Melanochelys trijuga sinhaleys
- කිරි ඉබ්බන් විශේෂයක් - Lissemys punctata
- කිඹුල් විශේෂයක් - Crocodylus sinhaleyus
- ඉත්තෑ විශේෂයක් - Hystrix silvalensis sinhaleyus
- වල් ඌරා - sus sinhaleyus
- කුළු හරකා - Bubalus bubalus
- වල් හරකා - Gona sinhalaya
මේ ගැනත් කියවන්න:









