ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියට අත්හිටවූ සිර දඬුවමක්

ඡායාරූප මූලාශ්‍රය, Swiss
අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි චෝදනා ලබා සිටි කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇයට අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (ජූලි 14 වැනිදා) නියෝග කළේය.
විත්තිකාරියට පෙර වැරදි නොමැති බවට ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට ද නියම කළේය.
ඊට අමතරව රුපියල් 50,000 දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් මාස තුනක සිර දඬුවමක් නියම කරන බවත් නියෝග කරනු ලැබීය.
විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බව නියම කළ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් තවත් මාස තුනක සිර දඬුවමක් ද නියම කළේය.
2019 වසරේ නොවැම්බර් මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනියට ඇප
පැහැරගැනීමකට ලක්වූ බවට අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (2019 දෙසැම්බර් 30) නියම කළේය.
ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදා හරින ලෙසය.
සැකකාරියගේ ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටත්, සැකකාරිය ස්ථිර වශයෙන් පදිංචිව සිටින ස්ථානය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.
එමෙන්ම තමන් පදිංචිව සිටින ස්ථිර ලිපිනය අධිකරණය වෙත දැනුම් දිය යුතු යැයි සැකකාරියට නියම කළ මහේස්ත්‍රාත්වරිය, පදිංචියේ වෙනසක් සිදුවන්නේ නම් ඒ බව සහ නව පදිංචි ස්ථානය පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවටත් ඇප නියෝගයේ සඳහන් වේ.
එමෙන්ම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කර තිබේ. ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට සහ වෙනත් අන්‍ය නීතියක් යටතේ ඇය විසින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවටත් එම නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාරියගේ, ඇයගේ සැමියාගේ සහ ඇයගේ දරුවාගේ පාසල් ගුරුවරියගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳ දත්ත වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසය.
සැකකාරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා මෙම ලේඛන බෙහෙවින් වැදගත් වන බව රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් දුරකතන සමාගමකට නියෝග කළාය.
මව සහ දරුවන්
මීට අමතරව පොලිස් විමර්ශන වලට අවශ්‍ය කරන, දැනට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ තිබෙන සැකකාරියගේ සැමියාට අයත් ජංගම දුරකථනයක් ද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා 2019 වසෙර්දී අධිකරණය හමුවේ පොරොන්දු විය.
එම දුරකථනය භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ එය මුද්‍රා තබා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ ජේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර පෙන්වාදුන්නේ මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී තිබුණද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියට යුක්තිය ඉටු කරනු වස් ඇය විසින් ප්‍රකාශ කරනු ලබන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවය.
සැකකාරියගේ දරුවන් තිදෙනා සහ ඇයගේ මව ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බව සඳහන් කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මෙම තත්වය හමුවේ සැකකාරිය ද කිසියම් හේතුවක් මත අදාළ තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබා ගතහොත් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි සඳහන් කළේය.
ඒ අනුව ඇප ප්‍රදානය කළහොත් ඇය අධිකරණය මග හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී කරුණු දැක්වූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම කියා සිටියේ තම සේවාදායකයාගේ දරුවන් තිදෙනා සහ මව නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බවය. ඔවුන් ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ද නීතිඥවරයා වැඩිදුරත් සඳහන් කළේය.
සැකකාරියගේ මව, සැකකාරියගේ දරුවන් තිදෙනා සමඟ ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු දැන ගත්තේ කෙසේදැයි එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියාය.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සිය ගුවන් තොටුපොල ශාඛාව දුන් තොරතුරු මත මේ බව ප්‍රකාශ කරන බවය.
කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ දරුවන් තුන් දෙනා සහ ඇයගේ මව සිංගප්පූරුවට ගොස් ඇති බවට ඉදිරිපත් කළ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරිය එම කරුණ මතම සැකකාරියගේ ඇප ඉල්ලීම ඉවත ලිය නොහැකි බව ප්‍රකාශ කළාය.
මේ තොරතුරු ද දැනගන්න:
- ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට විදේශ ගමන් තහනමක්
- ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක
- තානාපති නිලධාරිනිය "පහරදීමකට සහ ලිංගික අපයෝජනයට ලක් වී ඇති බවට වෛද්‍ය වාර්තා"
- ස්විට්සර්ලන්ත තානාපති නිල නිවසේදී ප්‍රශ්න කරන්නැයි කළ ඉල්ලීම ඉවතට
- ස්විට්සර්ලන්තය, සිය තානාපති සේවිකාව පිළිබඳ පරීක්ෂණ ගැන ප්‍රතිචාර දක්වයි










