නිලධාරිනිය 'පැහැර ගැනීම': ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම ගැන පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම ගැන පරීක්ෂණ පවත්වයි

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන ප්‍රශ්න කළ බවට එල්ලවන චෝදනාව මේ වන විට ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර බරපතල රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. පරීක්ෂණ ඉදිරියට ගෙනයාම සඳහා පැහැරගැනීමට ලක්වූ බව පවසන නිලධාරිනියගෙන් කට උත්තරයක් ගැනීම පිණිස පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කරන ඉල්ලීම ස්විට්සර්ලන්තය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම ඊට හේතු වී තිබේ.

ඇයගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තත්වයක නොමැති බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සිකුරාදා නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එම කාන්තාව ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට පිටත්කිරීම සඳහා අනුමර්තිය ලබා දෙන මෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බවද මාධ්‍ය වාර්තා කරයි. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක පසුගිය නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

"ස්විට්සර්ලන්තය මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම ගැන නිකුත් කළ නිවේදනයක සඳහන්ය. මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මනින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ස්විට්සර්ලන්තය එමගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. 

ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යංශය නිකුත් කර තිබෙන නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Foreign Affairs, Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යංශය නිකුත් කර තිබෙන නිවේදනය

ඒ අනුව සිදුවූ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඉරිදා (දෙසැම්බර් 01) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඇතුළු නිලධාරින් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් හමුවී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශණවල ප්‍රතිඵල ගැන දැනුවත් කර තිබේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද ඒ පිළිබඳව විමර්ශණය ඉදිරියට ගෙන යනු ලැබූ බව ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යංශය නිකුත් කර තිබෙන නිවේදනයක සඳහන් වේ.

"ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙන ලදි. නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවරැදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව අවධාරණය කෙරිණ," යනුවෙන් ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබේ. 

අජිත් ප්‍රසන්න

ඡායාරූප මූලාශ්‍රය, Ajith Prasanna

ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකවගෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබා ගත යුතු බැවින් ඊට සහය වන ලෙස එම නිවේදනය මගින් ශ්‍රී ලංකාව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියි. 

"සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදු වූ බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් පවත්වනු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළ යුතු බව පෙන්වා දෙන ලදි. සිදුවූ බව පැවසෙන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදි," එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යොමු කළ ලිපිය

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Commission of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යොමු කළ ලිපිය

මානව හිමිකම් කොමිසම

මේ අතර අදාළ නිලධාරිනියගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවස්ථාව ලබා දෙන ලෙස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට බලකරමින් මේ වන විට විශ්‍රාමික මේජර්වරයෙකු වන අජිත් ප්‍රසන්න කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ. ඔහු මේ සිදුවීම හඳුන්වන්නේ ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත්කිරීමට රඟ දක්වන "ජාත්‍යන්තර නාටකයක්" ලෙසය.

මේ අතර, මෙම සිදුවීම ගැන ඉක්මන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යවා තිබේ.

තානාපති කාර්යාලයක ආරක්ෂාව ඉල්ලා සිටින තැනැත්තන්ගේ තොරතුරු ලබාගැනීමට එම තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගැනීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති බව පවසන කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මෙවන් සිදුවීම් මගින් ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් හා නිදහසට විශාල බලපෑමක් ඇතිවන බව ද පෙන්වා දී තිබේ.