ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට විදේශ ගමන් තහනමක්

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය සතියේ කොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට තාවකාලික විදේශ ගමන් තහනමක් පනවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම තාවකාලික ගමන් තහනම දෙසැම්බර් 09 දක්වා බල පැවැත්වේ.

එදිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ කටඋත්තරයක් ලබා දෙන ලෙසට ද කොළඹ මහේස්ත්‍රාත්වරිය වන ලංකා ජයරත්න විසින් අදාළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියට නියෝග කරනු ලැබීය.

අධිකරණය එම නියෝගය කළේ, අදාළ කාන්තාව පැහැර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරිය හමුවේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේය.

අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති හෙයින් ඇය විදේශගත වීම වළක්වාලමින්, විදේශ ගමන් තහනමක් පනවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඉරිදා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යාංශය සඳුදා (දෙසැ. 02) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ.

එහි සඳහන් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට ස්විට්සර්ලන්තය පූර්ණ සහයෝගය ලබා දෙන බවය.

බර්ලිනයේ සිටින ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි විදේශ අමාත්‍යංශයට කැඳවා ස්විට්සර්ලන්තයේ විදේශ ලේකම් පැස්කල් බෙරිස්විල් (Pascale Baeriswyl) ඒ බව දැනුම් දුන් බව සඳහන් කරන එම නිවේදනය, කෙසේ නමුත්, අදාළ තැනැත්තියගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බැවින් තවමත් ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබිය නොහැකි බව අවධාරණය කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සිය නිලධාරිනියගේ සෞඛ්‍යය තත්වයට "ප්‍රමුඛත්වය හිමිවන බව" විදේශ ලේකම්වරිය ශ්‍රී ලංකා තානාපතිවරයාට අවධාරණය කළ බවය.

"ශ්‍රී ලංකා බලධාරීන්ගේ පරීක්ෂණ ප්‍රමාද කිරීමට ස්විට්සර්ලන්තයට කිසිදු අවශ්‍යතාවක් නොමැති," බවත් විදේශ අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.

ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, FDFA

මේ අතර සඳුදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම තැනැත්තිය මානසිකව කඩාවැටීමකට ලක් වී කටඋත්තරයක් ලබා දීමට නොහැකි තත්වයේ පසුවන බවය.

"ඇවිල්ල සතියක් යන්න ඉස්සෙල්ලා සූදු වෑන් එක ආව. කාන්තාවක් ගෙනැල්ලා කටට පිස්තෝලය තියල, කට අස්සට පිස්තෝලෙ දාල. අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුව ඉන්නවා. ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමා කියනවා එයට ඇවිල්ල කට උත්තරයක් දෙන්න කියල. එයා කටඋත්තරයක් දෙන්න නෙවෙයි, ගෙදර මිනිස්සුත් එක්ක කතා කරගන්න බැරුව උඩ බලාගෙන ඉන්නවා," ඔහු පැවසීය.

"මුළු පවුලම ස්විස් යවන්න හදනවා. එතරම් බියක් ඇතිවෙලා තියෙනවා ජීවත් වෙන්න මේ රටේ"
ඡායාරූප ශීර්ෂ වැකිය, "මුළු පවුලම ස්විස් යවන්න හදනවා. එතරම් බියක් ඇතිවෙලා තියෙනවා ජීවත් වෙන්න මේ රටේ"

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ඇති බව ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම "මුළු පවුලම ස්විස් යවන්න හදනවා. ඒතරම් බියක් ඇතිවෙලා තියෙනවා ජීවත් වෙන්න මේ රටේ," යනුවෙන් ද ඔහු මාධ්‍යවේදීන් ඉදිරියේ පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය ඉරිදා (දෙසැම්බර් 01) නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ "ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වෙතැයි සාක්ෂි සහිතව," තානාපතිවරයාට පෙන්වා දෙන ලද බවය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් සාක්ෂි පිළිබඳව වැඩිදුර කරුණු පැහැදිලි කරන මෙන් තානාපති කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ඉල්ලීමක් කළ බව ද ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය පවසයි.

කියවන්න: