ට්‍රම්ප් යුද මුක්ත කලාපයේදී උතුරු කොරියානු නායකයා හමුවේ

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (ජුනි 30) උතුරු කොරියාවට පැමිණියේය. ඒ අනුව, ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ඔහු උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් හමු වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී ය.

නායකයන් දෙදෙනා පැයක පමණ කාලයක් අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.

දැනට ඇණහිට තිබෙන න්‍යෂ්ටික වැඩසටහන් පිලිබඳ සාකච්ඡා නැවත ඇරඹීමට කණ්ඩායම් දෙකක් පත් කිරීමට ද එහිදී නායකයින් දෙපළ එකඟ විය.

ඔවුන් දෙදෙනා අතර පැවති සාකච්ඡා පසුගිය පෙබරවාරි මාසයෙන් පසු ඉදිරියට ඇදී නොගියේ උතුරු කොරියානු න්‍යෂ්ටිකහරණ වැඩසටහන පිළිබඳව ඇති වූ මත ගැටුම් හේතුවෙනි.

මේ තොරතුරුද කියවන්න:

යුද මුක්ත කලාපයේදී කුමක් වීද?

වසරකට මදක් වැඩි කාලයක් තුළ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු මුහුණට මුහුණ හමු වූ තෙවැනි අවස්ථාව මෙය වේ.

ඇමෙරිකානු ජනාධිපතිවරු කිහිප දෙනෙක් මීට පෙර අවස්ථා කිහිපයකදී දකුණු කොරියාවට ඇති ඇමෙරිකානු සහයෝගය හුවා දැක්වීම සඳහා දකුණු කොරියානු අන්තයේ පිහිටි යුද මුක්ත සීමාවට ගොස් තිබේ.

මීට පෙර එම ස්ථානයට ගිය ඇමෙරිකානු ජනාධිපතිවරු දැඩි ආරක්ෂක ක්‍රමවේද භාවිත කළ ද ජනාධිපති ට්‍රම්ප් තමාට හුරුපුරුදු ඇඳුමින් සැරසී එම හමුවට ගොස් තිබේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ජිමි කාටර් සහ බිල් ක්ලින්ටන් උතුරු කොරියාවේ අගනුවර වන පියොන්යැන් නගරයට ගොස් ඇත. නමුත් ඒ ඔවුන් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසුවය.

Trump and Kim

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් යුද මුක්ත කලාපයේදී උතුරු කොරියානු නායකයා හමු වූ අවස්ථාව
Trump and Kim in North Korea

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් යුද මුක්ත කලාපයේදී උතුරු කොරියානු නායකයා හමු වූ අවස්ථාව

ජනාධිපති ට්‍රම්ප්, සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් ඔස්සේ උතුරු කොරියානු ජනාධිපතිවරයාට කළ ආරාධනයකින් අනතුරුව ඔවුන් දෙදෙනා අතර මෙම හමුව සුදානම් කළ බව කියවේ.

යුද මුක්ත සීමාවේදී නායකයින් දෙදෙනා අතට අත දීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් කෙටි කාල සීමාවකට උතුරු කොරියාවට ඇතුළු විය. එය සංකේතාත්මකව සුවිශේෂී අවස්ථාවකි.

"ඔබව නැවත දැකීමට ලැබීම සතුටක්. මම කවදාවත් ඔබව මෙම ස්ථානයේදී හමුවෙන්න බලාපොරොත්තු වුණේ නැහැ," නායක කිම් සිනහසෙමින් පැවසීය. ඔහුට භාෂා පරිවර්තකයෙකුගේ ද සහය ලැබුණි.

මෙම හමුව ජාත්‍යන්තර රුපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.

දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් ද සුළු මොහොතකට ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ සමග එක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

U.S. President Donald Trump and South Korean President Moon Jae-in are seen at the demilitarized zone (DMZ)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

"ලොකු අවස්ථාවක්.... අතිමහත් වර්ධනයක්," ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

ඉන් අනතුරුව කිම්, ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවට ඇතුළු විය.

"මෙමගින් පෙනී යන්නේ මම හිතන ආකාරයට අවාසනාවන්ත අතීතය අමතක කර අලුත් අනාගතයක් ඇරඹීමට ඔහුට ඇති කැමැත්ත," යනුවෙන් කිම් පැවසීය.

ඉන් අනතුරුව දකුණු කොරියාව පැත්තේ පිහිටි "නිදහස් මන්දිරය" නම් ගොඩනැගිල්ලට ඇතුළු වූ නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක් පුද්ගලික සාකච්ඡාවක නිරත වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සමග අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව, මාධ්‍ය ඇමතූ උතුරු කොරියානු නායක කිම් පැවසුවේ මේ අවස්ථාව ඔවුන් දෙදෙනා අතර පවතින "ඉතා හොඳ" සම්බන්ධතාවයේ සංකේතයක් බවය.

ඔවුන් දෙදෙනා අතර පවතින මිත්‍රත්වය "ඉතා උසස්" බව පැවසු ට්‍රම්ප්, අද දිනය "ලොවට සුවිශේෂී දිනයක්" බවත් පැවසීය.

තමා උතුරු කොරියානු නායකයාට ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ බව ද ජනාධිපති ට්‍රම්ප් හෙළිදරව් කළේය.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු ජනපති හමුදා සාමාජිකයින් අමතමින්

ඉදිරියේ කුමක් වේද?

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන ගැන සාකච්ඡා කිරීම සඳහා දෙරටේ නිලධාරීන් ඉදිරි සතිවල හමුවන බව ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. "මට වැදගත් වෙන්නේ වේගය නොවේ. එය නියමාකාරයෙන් සිදු කිරීම," යනුවෙන් ඔහු පැවසීය.

උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක එසේම පැවතීමට ඉඩ තිබුණ ද සාකච්ඡා නැවත ඇරඹීමෙන් අනතුරුව සමහර සම්බාධක ලිහිල් කිරීමට ඉඩ තිබෙන බවක් ද ජනපති ට්‍රම්ප් පෙන්නුම් කළේය.

මෙම හමුවෙන් අනතුරුව ද උතුරු කොරියානු න්‍යෂ්ටිකහරණ වැඩපිළිවෙලට කිසියම් හෝ වාසිදායක තත්ත්වයක් ඇති වීමේ ඉඩ කඩ අවම බව සමහර විවේචකයෝ පවසති.

කෙසේනමුත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් ඇතුළු තව බොහෝ පිරිසක් මෙම හමුව ගැන සිය ප්‍රසාදය පළ කර තිබිණි.