උතුරු කොරියාව: කිම් සහ ට්‍රම්ප් යළි හමුවන ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, EPA
උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොන්-අන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තවත් හමුවක් නුදුරේදීම පැවැත්වෙන බවට තොරතුරු හෙළිවෙමින් තිබේ.
ඒ උතුරු කොරියා ජනාධිපති කිම් ජොන්-අන් පූර්ව දැනුම්දීමකින් තොරව චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයකින් බේජිං නුවර සංචාරයක් අඟහරුවාදා (ජන 08) ඇරඹීමත් සමඟය.
කිම් සිය බිරිඳ රී සෝල්-ජු සමග ජනවාරි 10 වනදා තෙක් එරට රැඳී සිටින බව, චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය.
කිම් ජොන්-අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දෙවන හමුව සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව ද වාර්තා වේ.
ඔවුන් දෙදෙනා පසුගිය ජුනි මාසයේදී හමු වූ අතර ඇමරිකා ජනාධිපතිවරයෙක් තම ධුර කාලයේ දී එවැනි හමුවක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව එයයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කිම් චීන සංචාරයක් අරඹනු ඇති බවට ඊයේ (ජන 07) රාවයක් පැතිර ගියේ උතුරු කොරියා දුම්රියක් චීනයට ඇතුළුවනු දුටු බවට දකුණු කොරියානු යෝන්හැප් පුවත් සේවය වාර්තා කිරීමත් සමගය.
සිංගප්පූරුවේ පැවති හමුවෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සහ කිම් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය නොවිණි.
එහිදී කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිහරණ කලාපයක් බවට පත් කිරීමට දෙපාර්ශවය ලිඛිත එකඟතාවයකට එළඹියත්, එය සිදුවන්නේ කවදා ද යන්න අපැහැදිලිය.
දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ඩන්ඩොන් නම් නගරයේ දුම්රිය ස්ථානය අවට මාර්ග ආරක්ෂක රථ සහ නිලධාරීන් විසින් අවහිර කර තිබිණි.
ඩන්ඩොන් හි හෝටල් වල දේශසීමාව දෙසට මුහුණලා ඇති කාමර වල සිටින අමුත්තන්ට ඒවා තුළට ඇතුලු වීම වළකා ඇත.
කියෝඩෝ පුවත් සේවයට අනුව එසේ කර ඇත්තේ "දුම්රිය දර්ශනය වීම අවහිර කිරීමටයි".

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දෙරටේම මාධ්‍ය මගින් කිම්ගේ සංචාරය ස්ථීර කළහ. කිම් ගමන් ගන්නා කොළ සහ කහ වර්ණ ආලේපිත දුම්රිය අඟහරුවාදා සවස බේජිං නුවරට ළඟා වී තිබේ.
ඔහුගේ ප්‍රථම චීන සංචාරය සඳහා ද මෙම දුම්රිය යොදා ගත් බව පැවසේ. එය කිම්ගේ පියා වන කිම් ජොන්-ඉල් විසින් 2011 දී තම චීන සහ රුසියා සංචාර සඳහා යොදාගත් දුම්රියට සමානය.
කිම් සමග ඉදිරි පෙළ උතුරු කොරියානු නිලධාරීන් කිහිප දෙනෙක් චීනයට පැමිණ ඇති අතර මෙය ඔහුගේ වසරකට අඩු කාලයකදී වාර්තා වූ සිව්වැනි චීන සංචාරයයි.
එසේම අඟහරුවාදා කිම්ගේ 35 වන උපන්දිනය ලෙස සැලකෙන නමුත් ඔහු උපන් දවස කවදාද යන්න උතුරු කොරියාව තහවුරුකර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෝල් නුවර සිටින බීබීසි සේවයේ ලෝරා බිකර් පවසන්නේ දකුණු කොරියා ජනාධිපති මුන් ජා-ඉන් සහ ට්‍රම්ප් හමුවීමට පෙර කිම් චීනයට දෙවරක් පැමිණ ඇති බවත් එමගින් නිසියාකාර සැලැස්මක් ඇති කර ගැනීමට අවස්ථාව ලැබූ බව සමහරු පෙන්වා දෙන බවකි.
තමා සහ උතුරු කොරියා ජනාධිපති අතර තවත් හමුවක් සඳහා සුදුසු ස්ථානයක් නුදුරේදීම හෙළිකරන බව ජනාධිපති ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර පැවසීය.
උතුරු කොරියාව සමහ "යහපත් අදහස් හුවමාරුවක්" සිදුවන බව වොෂින්ටන් නුවරදී වාර්තාකරුවන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් පැවසීය.
පසුගිය සතියේ වාර්ෂික දේශනය පවත්වමින් උතුරු කොරියා ජනාධිපතිවරයා පැවසුවේ තමා න්‍යෂ්ටික අවිහරණයට බැඳී සිටින බවයි.
නමුත් ඇමරිකා සම්බාධක දිගටම පවතී නම් තම ක්‍රියාමාර්ග වෙනස් කරන බව ඔහු අනතුරු අඟවයි.








