උතුරු කොරියා මිසයිල 'බරපතළ තර්ජනයක්'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උතුරු කොරියාව විසින් ගෙනයන මිසයිල අත්හදා බැලීම් සහ නිෂ්පාදන ඉතා 'බරපතළ තර්ජනයක්' එල්ල කරන බව ජපානය අනතුරු අඟවයි.
ජාත්‍යන්තර සම්බාධක වලට සිය දැඩි විරෝධය පළ කිරීමේ අරමුණෙන් උතුරු කොරියාව මෙහෙය වූ නව මිසයිල අත්හදා බැලීම් වලින් අනතුරුවයි ජපානය මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ.
කිලෝමීටර් දහසක් උසට පියාසර කළ මිසයිලය කිලෝ මීටර හාරසීයක් දුරට පතිත කිරීමට පැයක කාල පරතරයක් ඇතිව අත්හදා බලු මිසයිල දෙකෙන් එකක් සමත් වූ බවයි උතුරු කොරියාව ප්‍රකාශ කළේ.

පසුගිය මාස කිහිපය තුළ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ලද අසාර්ථකත්වය හමුවේ මෙම නව සාර්ථක පරීක්ෂණය උතුරු කොරියානු මිසයිල ව්‍යාපෘතියට ඉදිරි පියවරක් වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.
දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානයද උතුරු කොරියානු නව මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් සිය තැතිගැන්ම සහ අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කොට තිබේ.
නව මිසයිල අත්හදා බැලීම සඳහා යොදාගෙන තිබෙන්නේ ඉලක්ක කලාපය කිලෝමීටර තුන්දහසක පරාසයක් ආවරණය කිරීමට හැකි මධ්‍යම ශ්‍රේණියේ 'මුසුඩන්' මිසයිල (intermediate-range Musudan missiles) දෙකකි.
ඒ අනුව මෙම මිසයිල භාවිතා කරමින් උතුරු කොරියාවේ සිට ජපානය, ඇමරිකාව සහ දකුණු කොරියාව ඉලක්ක කරගෙන සෘජුවම ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, EPA




