කයිලි ජෙනර්ගේ ඡායාරූපය පරදවමින් ලෝක වාර්තාවක් තැබූ බිත්තරය

Egg V Kylie Jenner

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කයිලි ජෙනර්ගේ සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ පළ කරන එක් දැන්වීමකට ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ අය කරයි

අන්තර්ජාලය යනු ඉතා අරුම පුදුම දෙයක් නොවන්නේ ද?

දුඹුරු පැහැති තනි බිත්තරයක ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ මෙතෙක් වැඩිම පිරිසක් 'ලයික්' කළ ඡායාරූපය බවට පත් වී තිබේ. ලොව පුරා වෙසෙන පුද්ගලයන් මිලියන 45කට ආසන්න පිරිසක් මෙම ඡායාරූපයට සිය කැමැත්ත පළ කර ඇත්තේ කිසිදු විශේෂ හේතුවක් නොමැතිවය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහත් ප්‍රසිද්ධියට පත් වී ඇති කයිලි ජෙනර් සිය පළමු දරු උපත ලොවට දන්වා පළ කළ ඡායාරූපය මෙතෙක් වැඩිම කැමැත්ත පළ වූ ඡායාරූපය විය.

පසුගිය වසරේ පළ වූ එම ඡායාරූපයට මිලියන 18 ට වැඩි පිරිසක් සිය කැමැත්ත පළ කර තිබිණි.

"world_record_egg (ලෝක වාර්තාවක් වන බිත්තරය)" ලෙස නම් කළ හඳුනාගත නොහැකි ඉන්ස්ටග්‍රෑම් පිටුවකින් 2019 ජනවාරි 4 වෙනි දින මෙම ඡායාරූපය පළ කර තිබිණි.

ලෝක වාර්තාවක්

"ඉන්ස්ටග්‍රෑම්හි වැඩි ම කැමැත්ත ලබා ගත් ඡායාරූපය මෙය බවට පත් කර ලෝක වාර්තාවක් තබමු" ලෙස මෙම ඡායාරූපය සමග සටහනක් පළ කර තිබිණි.

එම සටහන පසුව සැබෑවක් බවට පෙරළිණි.

සයිබර් අවකාශයේ සැරිසරන්නන්ගේ දායකත්වයෙන් ජනවාරි 15 වෙනිදා වන විට එකී ලෝක වාර්තාව පිහිටුවන ලදී.

Person holding phone with egg image

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යම් පුද්ගලයෙකු සිය අනන්‍යතාව සඟවමින් මෙම ඉන්ස්ටග්‍රෑම් පිටුව නිර්මාණය කර තිබේ

මෙයට ප්‍රතිචාර දක්වමින් කයිලි ජෙනර් පදික වේදිකාවක සිට බිත්තරයක් බිඳින දර්ශනයක් ඇති වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළාය. "මේ පුංචි බිත්තරය ලබා ගන්න" යැයි එහි සටහනක් යොදා තිබිණි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බලපෑම් කළ හැකි පුද්ගලයන් අතරින් කයිලි ජෙනර් ඉදිරියෙන් ම සිටින්නීය.

මේ තොරතුරුද කියවන්න:

පරාද වූ කාඩේෂියන් සහ ජෙනර් පවුල

කිම් කාඩේෂියන් ඇතුළු පවුලේ අන් අයට වඩා වැඩි ප්‍රසිද්ධියක් උසුලන කයිලි, කාඩේෂියන් සහ ජෙනර් පවුලේ ලාබාල ම සාමාජිකාව වේ.

විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ඇය රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද හිමිකාරිනියකි.

පසුගිය වසරේ 20 හැවිදිරි වූ කයිලි ජෙනර්ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 900ක් බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කළේය.

Kylie Jenner

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ දී ෆෝබ්ස් සඟරාව සඳහන් කළ පරිදි කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා" බවට පත්වීමේ මගට පියමනිමින් සිටී

අලුත උපන් බිළිඳා කයිලිගේ මහපට ඇඟිල්ල අල්ලා සිටින ඉතා සංවේදී ඡායාරූපයක් මුදල් ගෙවා ප්‍රචාරය කිරීමකින් තොරව අතිශය ජනප්‍රියත්වයට පත් විය.

නමුත්, එවැනි ඡායාරූපයක් අභිබවමින් වැදගත්කමක් නැති තනි බිත්තරයක ඡායාරූපයක් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.

බිත්තරයේ ඡායාරූපය සමග ඇති සටහනෙහි එයට ලයික් කරන ලෙස ඉතා පැහැදිලි ඉල්ලීමක් කර ඇති අතර, එය වෙනත් කිසිදු වෙළෙඳ අරමුණකින් තොර වීම මෙතරම් ජනප්‍රිය වීමට හේතුව යැයි සමහර පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සිය අදහස් පළ කරමින් පවසා තිබිණි.

වර්තමානයේදී අන්තර්ජාලය ඔස්සේ පළ කරන ඡායාරූප සහ සටහන් බොහෝමයක් පිටුපස ඇත්තේ වෙළෙඳ අරමුණකි.

සමාජ මාධ්‍ය ජාල පුරා කාඩේෂියන් පවුලේ ඡායාරූප සහ විස්තර දැකීමෙන් වෙහෙසට පත් වී ඇති අතර, ඔවුන්ට සරදම් කිරීමේ අරමුණින් බිත්තරයේ ඡායාරූපයට කැමැත්ත පළ කළ බව සමහරු පවසයි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක නොනවතින වෙළෙඳ ප්‍රචාරවලට එරෙහි සටන

මින් පෙර ද මෙවැනි අර්ථශුන්‍ය ඡායාරූප, වීඩියෝ සහ සටහන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

ඒ සියල්ල වෙළෙඳ වටිනාකමකින් තොර වීම සහ කාඩේෂියන් පවුලේ සාමාජිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙකු සිදු කරන පරිදි ඉතා ප්‍රවේශමෙන් තෝරාගෙන පළ කරන ලද ඡායාරූප, වීඩියෝ හෝ සටහන් නොවීම මෙයට හේතු ලෙස හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ජාලවල පළ වෙන 'ලයික්' ගණනෙන් කිසිවෙකුගේ වටිනාකම තීරණය කළ නොහැකිය යන්න බිත්තරයේ ඡායාරූපයෙන් ඔප්පු වන බව මතකයේ තබා ගැනීම වැදගත්ය.

තවත් තොරතුරු: