ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගිනිකෙළි සංදර්ශනයක් අතර සිදු වූ බිහිසුණු දුම්රිය අනතුර

Train accident at India, Punjab

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරෙන් මියගිය සිය ඥාතීන්, හිතවතුන් වෙනුවෙන් වැලපෙන පිරිස්

පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 19) ඉන්දියාවේ පැවැත්වූ උත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් දරුවන් ඇතුළු 58 දෙනෙක් මිය ගියහ.

රාවණා රජුගේ විශාල අනුරුවකට ගිනි තබමින් සිදු කරන මෙම හින්දු උත්සවය පැවැත්වුනේ උතුරු ඉන්දියාවේ අම්රිත්සාර් නගරයේ දුම්රිය මාර්ගයක් ආසන්නයේය. උත්සවයට සහභාගි වූ පිරිසට තමන් දෙසට ධාවනය වන දුම්රිය පිළිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් සිදු කර නැත.

රාවණා අනුරුවට ගිනි තැබීමත් සමග දැඩි ශබ්දයක් නංවමින් රතිඤ්ඤා පිපිරුණ අතර, සුළු පිරිසකට පමණක් දුම්රිය පැමිණෙන ශබ්දය ඇසී තිබේ.

වේගයෙන් පැමිණි දුම්රිය මග හැර මාර්ගයෙන් ඉවත් වීමට නොහැකි වූ බොහෝ පිරිසක් මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

රාමා, සීතා සහ ශ්‍රී ලංකාවේ රාවණා රජු වටා ගොඩනැගී ඇති 'රාමායණය' ග්‍රන්ථයට අනුව රාවණා රජු දුෂ්ට චරිතයක් ලෙසින් සැලකෙන අතර ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල රාවණා රජු සැලකෙන්නේ යක්ෂයෙකු ලෙසිනි. ශ්‍රී ලංකාවේ සමහරු ඔහු දේවත්වයෙන් අදහති.

රාමා, රාවණා සටනේ අවසාන දිනය සනිටුහන් කරමින් සමරන 'දුසේරා' උත්සවයේ දී රාවණාගේ විශාල අනුරුවක් ගිනිබත් කරමින්, තවත් ගිනි කෙලි සංදර්ශන ද පැවැත්වේ. හින්දු ඇදහීමට අනුව මෙයින් සංකේතවත් වන්නේ සියලු අනර්ථයන් පරදා යහපත් දේ ජයගැනීමය.

Train accident at India, Punjab

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රාම රාවණා සටනේ අවසාන දිනය සනිටුහන් කරමින් සමරන 'දුසේරා' උත්සවයේ දී රාවණාගේ විශාල අනුරුවක් ගිනිබත් කරමින්, තවත් ගිනි කෙලි සංදර්ශන පැවැත්වීමට කටයුතු කරයි

අම්රිත්සාර් නුවර දුම්රිය අනතුරෙන් පසු, සමහර පුද්ගලයන් දුම්රිය මාර්ගය සහ අසල පිහිටි ලඳු කැලෑවල සිය ජංගම දුරකතනයෙන් විහිදෙන එළියෙන් තමන්ගේ ආදරණීයන් සෙවීමට උත්සහ ගත් ආකාරය ගැන සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු විස්තර කළේය.

දුම්රියේ ගැටී මියයාමට මොහොතකට පෙර එක් පුද්ගලයෙකු තමන් අත සිටි ළදරුවා ඉවතට විසි කරනවාත් සමගම අසල සිටි කාන්තාවක් දරුවා අල්ලා ගෙන ඇති බව 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා (The Times of India) පුවත්පත වාර්තා කර තිබිණි.

"උත්සවයක් වෙන්න තිබුණ අවස්ථාවක් මහ භයානක දර්ශනයකට පෙරළුණා. හැම තැනම ලේ වැගිරිලා තිබුණා. ශරීර කොටස් විසිරිලා තිබුණා," යැයි මෙම අනතුරෙන් දිවි ගලවාගත් මන්ජිත් සිං බීබීසී පන්ජාබි භාෂා සේවයට පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

මෙම අනතුරට වගකිව යුත්තේ කවුද?

ඉන්දීය පොලිසිය මෙම සිද්ධිය ගැන පැමිණිල්ලක් ලියාපදිංචි කරගෙන ඇතත්, එය "නම් කර නොමැති" පුද්ගලයන්ට එරෙහිව සටහන් කර ගන්නා ලද්දක් ලෙස වාර්තා වේ. එම පැමිණිල්ලේ අනතුරට වගකිව යුතු පාර්ශවයක් ගැන පැහැදිලිව දක්වා නොමැත.

මෙම උත්සවය තිබූ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය පිහිටා තිබුණේ විශාල වගා බිමක් මධ්‍යයේය. දුම්රිය මාර්ගය තරමක් උස්ව පිහිටා තිබූ අතර, කෙටි තාප්පයකින් භූමියේ මායිම් සලකුණු කර තිබිණි. ගිනිකෙළි සංදර්ශනය වඩාත් හොඳින් දර්ශනය වූයේ දුම්රිය මාර්ගයේ සිට නැරඹූ විටය. එමෙන්ම, දුම්රිය මාර්ගයේ සිටින පිරිස දෙසට හරවා විශාල LED තිර සවි කිරීමට සංවිධායකයෝ කටයුතු කර තිබූහ. මෙයින් හැඟී යන්නේ වගා බිමෙන් ඉවත සිටින මිනිසුන් ද ගිනිකෙළි සංදර්ශනය නැරඹීමට ආකර්ෂණය කර ගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ බවය.

Train accident at India, Punjab

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දුම්රිය මාර්ගය තරමක් උස්ව පිහිටා තිබූ අතර, කෙටි තාප්පයකින් භූමියේ මායිම් සලකුණු කර තිබිණි

"මිනිස්සු රේල් පාරේ ඉඳගෙන උත්සවයේ අවස්ථා වීඩියෝ කරමින් සිටියා," ප්‍රාන්තයේ නීති සම්පාදකයෙකු වශයෙන් සේවය කළ ආචාර්ය නවුජොත් කවුර් බීබීසී පන්ජාබි සේවයට පැවසුවේය. ඔහු උත්සවයට සහභාගි වී අනතුර සිදු වීමට පෙර ඉන් පිටත්ව ගොස් ඇත.

"සංවිධායකයෝ මේ වගේ උත්සවවලට අදාළ දුම්රිය සේවා ආයතනවලින් අවසර ගන්නවා. මේ දුම්රිය එන්න ඇත්තේ ඉතා හෙමින්. එය නවත්වා ගන්න තිබුණා, නැත්නම් රියදුරාට කීපවතාවක් නලාව ශබ්ද කරන්න තිබුණා මිනිසුන්ට මාර්ගයෙන් ඉවත් වෙන්න."

දුම්රිය නිලධාරීන් එරට මාධ්‍ය වෙත පැවසුවේ, අනතුර සිදුවන වෙලාවේ දී දැඩි අඳුරක් සහ මීදුමක් පැවති බවය. එමෙන්ම, දුම්රිය මාර්ගයේ තිබූ වංගුවක් පසු කරනවාත් සමගම මෙම පිරිස රැඳී සිටිය නිසා අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කාලය ප්‍රමාණවත් නොවූ බව ඔවුහු තවදුරටත් පැවසූහ.

විශාල වශයෙන් සංසරණය වූ මෙම උත්සවයේ එක් වීඩියෝවක දැක්වෙන පරිදි සංවිධායක මණ්ඩලයේ එක් සාමාජිකයෙකු ආචාර්ය නවුජොත් කවුර්ට පැවසුවේ, "මේ රේල් පාරේ 5,000ක් විතර සෙනග හිටගෙන ඉන්නවා. ඒ අය දුම්රිය ගැන කරදර වෙන්නේ නැහැ. දුම්රිය 500ක් මෙතනින් ගියත් ගණන් ගන්නේ නැහැ," යනුවෙනි.

Train accident at India, Punjab

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරෙන් මියගිය අය වෙනුවෙන් වැලපෙන්නෝ

පොලිසිය මෙම උත්සවය සඳහා නිසි අවසර ලබා දී ඇතත්, පොදු උත්සවයක් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨාධිකරණ රීති පිළිපැදීමට සංවිධායකයන්ට පැවසූ බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් කමල්දීප් සිං සංගා බීබීසී පන්ජාබි සේවයට පැවසීය.

එම රීතිවලට අනුව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමේදී ගිනි නිවන හමුදාවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද අවසර ගත යුතුය. නමුත් සංවිධායකයෝ සිය දෙපාර්තමේන්තුවලින් එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බව නිලධාරියෝ බීබීසී පන්ජාබි සේවයට පැවසූහ.

නමුත් වසර ගණනාවක සිට පවත්වන මෙම උත්සවයට දේශපාලඥයෝද සහභාගී වන නිසා මෙහි ආරක්ෂාව පිළිබඳ අදාළ නිලධාරියෝ දැනුවත් බව අනතුරෙන් දිවිගලවාගත් පිරිස පවසති.

තවත් තොරතුරු: