'සෝනි' ලෝක ඡායාරූප ප්‍රදර්ශනයේ ජයග්‍රාහී ඡායාරූප

සෝනි (Sony) සමාගම වාර්ෂිකව පවත්වන ලෝක ඡායාරූප ප්‍රදර්ශනයේ, 'නිදහස් ඡායාරූප' අංශයේ ජයග්‍රාහකයින් සහ ඔවුන්ගේ ඡායාරූප මෙසේ ඉදිරිපත් කර සිටින්නෙමු:

Photography

ඡායාරූප මූලාශ්‍රය, NICK DOLDING

පුද්ගල ඡායාරූප අංශයේ හොඳම ඡායාරූපය ලෙස වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූයේ බ්‍රිතාන්‍යය ජාතික නික් ඩොල්ඩින්ග් ලබා ගත් ඉහත දැක්වෙන ඡායාරූපයයි.

මෙම තරඟයේ සියලු ජයග්‍රාහකයින් අප්‍රේල් 19 වෙනිදා පැවැත්වීමට නියමිත 'වසරේ නිදහස් ඡායාරූප ශිල්පියා' තරඟයට ඉදිරිපත් වනු ඇත.

Photography

ඡායාරූප මූලාශ්‍රය, MIKKEL BEITER

"මෙම තරඟය ඡායාරූප ශිල්පීන් අතර බොහොම ජනප්‍රියයි. ඒ ඇයි කියල තේරුම් ගන්න අමාරු නැහැ" යනුවෙන් සංචාරක අංශයේ ජයග්‍රාහකයා වන මිකෙල් බීටර් පැවසුවේය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ නොර්වේ ලොෆෝටන් ආර්කිපෙලැගෝ (Lofoten Archipelago) ප්‍රදේශයේ දර්ශනයකි.

"අලංකාර ඕල්ස්ටින්ඩේන් කන්ද කහ පාට හුරුබුහුටි කුඩා නිවසේ වහලයේ හැඩයට සමානයි. හිමෙන් වැසුන කන්ද නිසා කහ පාට හොඳින් කැපී පෙනෙනවා. මේ පිංතූරය සංස්කරණය කරන විට වම් පස තිබුණ කුඩා නිවාස මම ඉවත් කළා. ලයිට්රූම් සහ ෆොටෝෂොප් (Lightroom and Photoshop) භාවිතා කර පාට තුලනය කිරීම් සහ තියුණු කිරීම් කළා." යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

Photography

ඡායාරූප මූලාශ්‍රය, KLAUS LENZEN

'වැඩි දියුණු කරන ලද ඡායාරූප' අංශයේ ජය හිමි වූයේ ඉහත දැක්වෙන ඡායාරූපය ලබා ගත් ක්ලෝස් ලෙන්සෙන්ටය. බටහිර ජර්මනියේ ඩසල්ඩොෆ් නුවර වරායේ පිහිනුම්කරුවන් තිස්පස් දෙනෙකුගේ තනි ඡායාරූපවල එකතුවකින් මෙම කණ්ඩායම් ඡායාරූපය නිර්මාණය කර ඇත. 2017 සරත් සෘතුවේ දී ලබා ගත් මෙය නම් කර ඇත්තේ 'ඔබ ගන්නා සෑම හුස්මක්ම' ලෙසිනි.

Photography

ඡායාරූප මූලාශ්‍රය, VESELIN ATANASOV

සිසිර සෘතුවේදී බල්ගේරියාවේ ජාතික උද්‍යානයක ගස් පෙළක දර්ශනයක් වන මෙය 'උද්‍යාන සහ ස්වභාවධර්මය' අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. මෙය වෙසෙලින් අටනාසොෆ්ගේ කැමරාවේ සටහන් වූ ඡායාරූපයකි.

Photography

ඡායාරූප මූලාශ්‍රය, RICHARD FRISHMAN

ඉහත දැක්වෙන්නේ රිචඩ් ෆ්‍රීෂ්මෑන්ස් ලබා ගත් 'නිසල ජීවීන්ගේ ඡායාරූප' අංශයේ ජයග්‍රාහී ඡායාරූපයය. මෙහි දර්ශනය වන්නේ 'ජෙරී මික්සෙකා' ආපනශාලාවේ ඉරිදා දින බුෆේ ක්‍රමයට පිළියෙළ කරන ලද ආහාර වර්ගය.

"සත්ත්ව දඩයමට ඉතා ප්‍රසිද්ධ ටෙක්සාස් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක දහවල් ආහාරය ගැනීමට ස්ථානයක් සොයමින් යන විට, මම මේ දුටු දර්ශනයෙන් පුදුමයට පත් වුණා" යැයි රිචඩ් පැවසුවේය.

Photography

ඡායාරූප මූලාශ්‍රය, FAJAR KRISTIANTO

ෆජාර් ක්‍රිස්ටිආන්ටෝ ලබා ගත් මෙම ඡායාරූපය 'චංචල ඡායාරූප' අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. මෙහි පසුබිමෙන් දැක්වෙන්නේ ජකර්තා නුවර අලුතෙන් ඉඳි කළ පිහිනුම් තටාක සහිත ක්‍රීඩාංගණයකි.

Photography

ඡායාරූප මූලාශ්‍රය, PANOS SKORDAS

'සංස්කෘතිය විදහා දක්වන ඡායාරූප' අංශයේ ජයග්‍රහණය ග්‍රීක ඡායාරූප ශිල්පී පැනොස් ස්කෝදාස්ට හිමි විය. හරක් හිසකින් සහ සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසුණ පැනොස්ගේ පුතා මෙම ඡායාරූපයේ දැක්වේ.

"ක්‍රෙට් දූපතේ පිහිටි මිනොස් රජුගේ සත්‍යය මාළිගාවේ තමයි මේ පිංතූරය ලබා ගත්තේ. ඇඳුම් සහ වෙස් මුහුණ නිර්මාණය කළේ මම විසින්මයි," යනුවෙන් පැනොස් පැවසුවේය.

Photography

ඡායාරූප මූලාශ්‍රය, JUSTUNA ZDUŃCZYK

"සේකුවා (Sequoia) සත්වෝද්‍යානයෙන් පිටත් වීමට සැරසෙන විට මගේ ඇස් අඟින් දුටුවා මීදුම අතරින් කිසියම් දෙයක් මතු වෙනවා," යනුවෙන් ජුස්ටුනා පැවසුවාය. ඇය 'වනසත්ව ඡායාරූප' අංශයේ ජයග්‍රාහිකාව වේ.

"වැඩිය සිතන්නේ නැතුව, මම කැමරාව අරන් ඒ දෙසට දිව්වා. මම මීදුම අතරට යන කොට, මට අතු කැඩෙන ශබ්දයක් ඇසුනා. සේකුවා සත්වෝද්‍යානය කළු වලසුන්ගේ නිවහනක් නිසා ඊට ඇතුළු වන සෑම දෙනාටම මේ ගැන අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා මටත් බිය දැනුනා."

"මම හැරී බලන විට වාසනාවට එතන වලසෙක් සිටියේ නැහැ. ඒ වෙනුවට දුටුවේ පුදුමෙන් වගේ මා දෙසට ඇවිද එන 'මූල්' වර්ගයේ මුවෙක්. ටික වෙලාවකින් තව මුවන් එතනට එකතු වුණා. අපි ටිකක් වෙලා හිටගෙන එකිනෙකා දිහා බලාගෙන සිටියා"

"මගේ කැලිෆෝනියානු සංචාරයේ සුන්දරම මතක සටහනක් එය," යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

Photography

ඡායාරූප මූලාශ්‍රය, MANUEL ARMENIS

'පැරණි යහළුවන්' ලෙස නම් කළ ඉහත ඡායාරූපයේ හිමිකරු මැනුඑල් ආර්මේනිස්ය. මෙය 'වීදි ඡායාරූප' අංශයේ හොඳම ඡායාරූපය ලෙස තේරී පත් විය. ජර්මනියේ හැම්බර්ග් නුවර වීදියක ලබා ගත් මෙම ඡායාරූපය පිළිබද අදහස් දක්වමින් ආර්මේනිස් පවසා සිටියේ, "මහලු වුවත් මේ පිංතූරයේ සිටින කාන්තාව තමයි ඇයගේ අසල්වැසියන් අතර සිටින වඩාත්ම සුන්දර කාන්තාව" යනුවෙනි.

"ඇය නිතරම හොඳට ඇඳ පැළඳගෙන සිටිනවා. ඉතා අධිෂ්ඨානශීලීයි, නිතර සිනාසෙනවා, සෑම දිනක්ම ඇයට වෙහෙසකර අභියෝගයක් වුවත්, කිසි දවසක දුක්ගැනවිලි කියන්නේ නැහැ. ඒ වගේම ඇය නිතරම සිටින්නේ හොඳම මිතුරා වන පුංචි බලු පැටවා සමග," යනුවෙන් ඔහු තව දුරටත් පැවසුවේය.

Photography

ඡායාරූප මූලාශ්‍රය, ANDREAS POHL

'ගොඩනැඟිලි ඡායාරූප' අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් ඉහත දැක්වෙන ඡායාරූපය 'මිනිසා සහ ගුප්ත කුලුන' ලෙස නම් කර ඇත. ඡායාරූපයේ හිමිකරු අන්ද්‍රියාස් පෝල්ය . එහි දැක්වෙන්නේ 1930 වසරේදී බර්ලින් නුවර ගොඩනගා ඇති කුලුනකි.

සියලු ඡායාරූපවල හිමිකම් සෝනි ලෝක ඡායාරූප ප්‍රදර්ශනය සතුය.

මේ තොරතුරුද දැනගන්න: