අභ්‍යවකාශයේ සිට ලබා ගත් ඡායාරූපවල සටහන් වූ සුවිසල් පෙන්ග්වින් ජනපදය

Penguin

ඡායාරූප මූලාශ්‍රය, BBC

ඇන්ටාක්ටිකාවේ දකුණු කොනෙහි පිහිටි පෙර හඳුනා නොගත් හුදෙකලා දූපතක ඇඩිලි පෙන්ග්වින් (Adélie penguins) ජනපදයක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත.

අභ්‍යවකාශයේ සිට ලබා ගත් දූපතේ ඡායාරූපවල දක්නට ලැබුන කුරුල්ලන්ගේ අසූචි කඳු නිසා ඔවුන් එහි වෙසෙන බව මුලින්ම දැකගන්නට ලැබිණ.

විශාල ගල් පර්වතයකින් සැදුම් ලත් Danger Islands හි (අනතුරුදායක දූපත් යන අර්ථය) පෙන්ග්වින් පක්ෂීන් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් විශාල රංචු වශයෙන් දිවි ගෙවති.

Scientific Reports සඟරාවේ ලිපියක් පළකරමින් පර්යේෂකයන් පවසන්නේ එය ඉතා විශ්මිත සොයා ගැනීමක් බවය.

ගවේෂකයින් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ටොම් හාට් බීබීසීයට පවසා සිටියේ "කිසිම කෙනෙක් මීට පෙර දැක නැති තැනක් සොයා ගැනීම හරිම උද්යෝගිමත් දෙයක්. ඩේන්ජර් දූපත්වලට ලඟා වීම ඉතා දුෂ්කර නිසා මිනිස්සු මින් පෙර එහි යෑමට උත්සහ කරලා නැහැ," යනුවෙනි.

Pengine

ඡායාරූප මූලාශ්‍රය, T.S.MCCHORD/H.SINGH/NU/WHOI

ඡායාරූප ශීර්ෂ වැකිය, කුරුල්ලන් නිරීක්ෂණයට ඩ්‍රෝන යොදා ගැනීම ඉතා ඵලදායී ක්‍රමයකි

අභ්‍යවකාශයේ සිට භූගෝලීය පිහිටීම නිරීක්ෂණය කිරීම සඳහා ඡායාරූප ලබාගන්නා ඇමරිකානු ආයතනයක සහය ඇතිව විද්‍යාඥයින් විසින් පෙන්ග්වින් පක්ෂීන්ගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම් අධ්‍යයනය කිරීමට ඇල්ගොරිතම (ගණිත ක්‍රම) භාවිත කර ඇත.

අභ්‍යවකාශයේ සිට අධි විභේදිත ඡායාරූප ලබා ගැනීම අපහසු වීම හේතුවෙන් මෙවැනි කොලනියක සලකුණු දුටු විට එය තහවුරු කර ගැනීමට වඩාත් පැහැදිලි ඡායාරූප ගැනීමට සිදු වෙයි.

Penguin

ඡායාරූප මූලාශ්‍රය, BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ස්ථානයේ පෙන්ග්වින් කුරුල්ලන් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් ජීවත් වන බවට ගණනය කර ඇත

"මෙම කොලනියේ විශාලත්වය දැක්ක අපිට මොහොතකට හුස්ම ගන්න පවා අමතක වුණා," යැයි නිව්යෝර්ක්හි ස්ටෝනි බ්රූක් විශ්වවිද්‍යාලයේ ආචාර්ය හෙදර් ලින්ච් පැවසූවාය.

"අපි හිතුවා, 'නියමයි!', අපි දකින දේ ඇත්ත නම්, මේ ලෝකයේ විශාලතම ඇඩිලි පෙන්ගුයින් ජනපදය මෙය වෙන්න පුළුවන්. ඔවුන් ගවේෂණය කර ගණනය කිරීම අපට ඉතා වටිනවා," ඇය තවදුරටත් පැවසුවාය.

මේ තොරතුරුද කියවන්න:

Penguine

ඡායාරූප මූලාශ්‍රය, C.YOUNGFLESH/SBU

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඩ්‍රෝන මඟින් දූපතේ ඇති සෑම ස්ථානයක්ම තත්පරයට එක බැගින් ඡායාරූප ගත කරනවා..."

නමුත්, නමේ තේරුම තරමටම ඩේන්ජර් දුපත්වලට ලඟා වීම ඉතා දුෂ්කර භයානක ගමනකි.

ගිම්හාන සෘතුවේදී පවා දූපත් සමූහය වටා ඇති සාගරය අයිස් තට්ටුවකින් වැසී ඇති අතර, නැව් මෙම මාර්ගය මඟ හැර යාත්‍රා කරති.

කෙසේ වෙතත්, 2015 දෙසැම්බර් මාසයේ දී මෙම විද්‍යාඥයන් කණ්ඩායම දුපතට ඇතුළු වී පෙන්ග්වින් කුරුල්ලන් ගණන් කිරීම ආරම්භ කර ඇත. කුරුල්ලන් නිරීක්ෂණයට ඩ්‍රෝන යොදා ගැනීම ඉතා ඵලදායී ක්‍රමයක් වූ අතර, එමගින් ඔවුන්ගේ කූඩු ඇතුළත දර්ශන ලබා ගැනීමට ද හැකි වුණි.

"ඩ්‍රෝන මඟින් දූපතේ ඇති සෑම ස්ථානයක්ම තත්පරයට එක බැගින් ඡායාරූප ගත කරනවා. ඉන් පසු ඒ ඡායාරූප සියල්ල එකට තියල කොලාජ් එකක් විදියට සකස් කර ගත්තාම ද්විමාන හෝ ත්‍රිමාන විදියට මුළු දූපතම දැක ගන්න පුළුවන්," යැයි නෝර්ත්ඊස්ටර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හනුමන්ට් සිං සඳහන් කළේය.

Penguine

ඡායාරූප මූලාශ්‍රය, T.HART/OXFORD

ඡායාරූප ශීර්ෂ වැකිය, තේරුම තරමටම ඩේන්ජර් දුපත්වලට ලඟා වීම ඉතා දුෂ්කර භයානක ගමනකි

මෙම ක්‍රියාවෙන් පසු නැවත වරක්, විශේෂයෙන් සකසන ලද මෘදුකාංගයක් භාවිත කරමින් ගණනය සිදු කරන ලදී.

මෙම සමීක්ෂණයෙදී හෙළි වූ පරිදි ඩේන්ජර් දූපත්වල ඇඩිලි පෙන්ග්වින් යුවල 751,527 ක් ජීවත් වන අතර මෙය ලෝකයේ තුන්වන සහ හතරවන විශාලතම ජනපද ලෙස වාර්තා වෙයි.

අයිස් දිය වීමෙන් කුඩා ජීවින් සහ මත්ස්‍යයින් මරණයට පත් වීම නිසා පෙන්ග්වින් පක්ෂීන්ට අවශ්‍ය ආහාර හිඟ වීම හේතුවෙන් අර්ධද්වීපයේ ඇඩිලි පෙන්ග්වින් (Adélie penguins) අඩු වීමක් දැකිය හැකි බව විද්‍යාඥයෝ සැක පහළ කරති.

Penguine

ඡායාරූප මූලාශ්‍රය, R.HERMAN/LSU/SBU

ඡායාරූප ශීර්ෂ වැකිය, අයිස් දිය වීමෙන් කුඩා ජීවින් සහ මත්ස්‍යයින් මරණයට පත් වීම නිසා පෙන්ගුයින් කුරුල්ලන්ට අවශ්‍යය ආහාර හිඟ වීම හේතුවෙන් පෙනින්සුලාවේ ඇඩිලි පෙන්ගුයින් අඩු වීමක් දැකිය හැකිය.

"බටහිර ඇන්ටාක්ටිකාවේ ඇඩිලී සහ චින්ස්ට්‍රැප් පෙන්ග්වින් විශේෂ වේගයෙන් නැති වෙමින් ගියත් ගෙන්ටෝ පෙන්ග්වින් වර්ගය වැඩිවෙමින් තිබෙනවා," යැයි ආචාර්ය හාට් සඳහන් කළේය.

"මෙයට පැහැදිලි හේතුවක් කියන්න බැහැ. දේශගුණික විපර්යාස, මුහුදේ අයිස් දියවී යාම සහ ආහාරයට ගැනීමට කුඩා සතුන් හිඟ වීම මෙයට අනිවාර්යෙන්ම බලපානවා. ඒ වගේම මුහුදේ අයිස් දියවීම නිසා එම ප්‍රදේශයෙන් නැව් ගමන් කිරීමත්, මිනිසුන් ධීවර කර්මාන්තයේ යෙදීමත් මෙයට හේතු ලෙස දැක්විය හැකියි" ඔහු පැවසුවේය.

"අතීතයේ දී අපි බටහිර ඇන්ටාක්ටික් අර්ධද්වීපයට සාපේක්ෂව එලිෆන්ට් දූපත් වැනි ප්‍රදේශවල (තවත් උතුරට වන්නට) පරීක්ෂණ සිදු කර තිබෙනවා. අවසානයේදී ඩේන්ජර් දූපත් වැනි ප්‍රදේශයක පැවැත්වූ පරීක්ෂනයේ දී හෙළි වූ ජීවින් සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔවුන් හොඳින් අයිස් ඇති ස්ථාන සොයා යන බවයි" හාට් පැවසුවේය.

"තවත් වැදගත් කරුණක් වන්නේ මෙම දූපත් සාගර ආරක්ෂණ කලාපයක් ලෙස යෝජනා වී තිබීමයි."

තවත් තොරතුරු:

Penguin

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ කණ්ඩායමට සම්බන්ධ ආචාර්ය පීටර් ෆ්රෙට්වෙල් ඩේන්ජර් දූපත් සමීක්ෂණ කණ්ඩායම හඳුනන නමුත් මෙම අධ්‍යයනයට සහභාගි නොවීය. සත්ව කණ්ඩායම් හඳුනා ගැනීමට සහ ගණනය කිරීමට ඔහු චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරයි.

"නවීන තාක්ෂණය කොපමණ දියුණු වුණත් තවමත් ලෝකයේ විවිධ පැතිවල හුදෙකලා ප්‍රදේශ පිහිටා තිබෙනවා. එයට හේතුව එම ප්‍රදේශවලට ළඟාවීම ඉතා දුෂ්කර වීම," ෆ්රෙට්වෙල් පැවසීය.

"නවීන චන්ද්‍රිකා මේ අසීරු ස්ථාන ගවේෂණය කිරීමට යොදා ගත හැකි ප්‍රබල මෙවලමක්. මේ 'අහසෙහි ඇස්' භාවිත කරමින් ස්වභාවධර්මයේ තවත් අපූරු නිර්මාණ ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි," ඔහු වැඩිදුරටත් පැවසීය.