සාගරයේ අම්ල සාන්ද්‍රණය ඉහළ යාම 'සමුද්‍ර ජීවිතයට බලපාවි'

Organisms that use calcium carbonate to build their bodies will likely struggle

ඡායාරූප මූලාශ්‍රය, MAREK MIS/SPL

නවීන සමාජය විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් වායුව එන්න එන්නම ඉහළ යාම මගින් සමුද්‍ර ජීවිතයට බරපතළ බලපෑම් එල්ල විය හැකි බවට ඉහළ පෙළේ පර්යේෂණයක් මගින් අනතුරු ඇඟවීමට නියමිතය.

විශේෂයෙන්ම මේ තත්ත්වය මගින් ළදරු සාගර ජීවීන්ට බරපතළ හානියක් සිදු කරන බව ද විද්‍යාඥයන් 250 කට වැඩි පිරිසක් වසර අටක් මුළුල්ලේ කරන ලද පර්යේෂණයේ නිගමනය වී තිබේ.

උදාහරණයක් ලෙසින් දැනට විමෝචනය කෙරෙන මට්ටමින් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරුණහොත් ළදරු කොඩ් (cod) මත්ස්‍යයෙකු වැඩිහිටි මත්ස්‍යයෙකු දක්වා වර්ධනය වීම වර්තමානයේ පවතින තත්ත්වයෙන් හතරෙන් තුනකින් පහළ වැටිය හැකිය.

ඉහත කී අනතුරු ඇඟවීම් කරනු ලබන්නේ ජර්මනියේ ප්‍රධානත්වයෙන් යුත් 'සාගරය අම්ලකරණය වීමේ ජීව විද්‍යාත්මක බලපෑම' (The Biological Impacts of Ocean Acidification- BIOACID) ව්‍යාපෘතිය විසිනි.

ඔවුන්ගේ සොයා ගැනීම්වල සාරාංශය ඇතුළත් වාර්තාවක් ලබන නොවැම්බර් මාසයේ බොන් නගරයේ පැවැත්වීමට නියමිත මිහිතලය රත්වීම සම්බන්ධ සමුළු නියෝජිතයන් වෙත ලබාදීමට නියමිතය.

Cold water corals should be more resilient

ඡායාරූප මූලාශ්‍රය, JAGO-TEAM/GEOMAR

සාගරයේ සිදු වෙමින් පවතින මෙම වෙනස ඇතැම් ජීවීන්ට හිතකර අන්දමින් බලපෑමට ඉඩ තිබෙන නමුත්, අම්ල සාන්ද්‍රණය ඉහළ යාම ආහාර ජාලයට ඇති කරන බලපෑම් හේතුවෙන් එම හිතකර බලපෑම් පවා අවසාන විග්‍රහයේ දී වක්‍රාකාරව නිෂේධ වී යනු ඇති බව පර්යේෂණ කණ්ඩායමේ අදහසය.

මිහිතලය රත්වීම, පරිසර දූෂණය, වෙරළාසන්න සංවර්ධන කටයුතු, සීමාව ඉක්මවා මසුන් ඇල්ලීම සහ කෘෂි රසායන හේතුවෙන් අම්ල සාන්ද්‍රණය ඉහළ යාමේ බලපෑම තවත් උත්සන්න වනු ඇති බව ද පර්යේෂණයෙන් හෙළිදරවු වේ.

පොසිල ඉන්ධනවලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මුහුදු ජලයේ දිය වී, කාබනික අම්ල නිෂ්පාදනය කිරීම හේතුවෙන් මුහුදු ජලයේ පීඑච් (pH) අගය පහළ වැටේ.

කාර්මික විප්ලවයේ ආරම්භයේ සිට මේ දක්වා ගෝලීය සාගර ජලයේ සාමාන්‍ය පීඑච් අගය 8.2 සිට 8.1 දක්වා පහළ වැටී තිබෙන අතර, එමගින් සාගර ජලයේ අම්ල සාන්ද්‍රණය 26% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

සාගරය රත්වීම පිළිබඳව ලෝක ප්‍රසිද්ධ විශේෂඥයෙකු වන මහාචාර්ය උල්ෆ් රීබසල් (Ulf Riebesell) පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවරයාය. සාගරයේ අම්ල සාන්ද්‍රණය ඉහළ යාමේ බලපෑම පිළිබඳව ඔහු ඉතා ප්‍රවේශම් සහගතව අදහස් දක්වන්නෙකි.

Mesocosms ("giant test tubes") allow scientists to study acidification effects on real-world organisms

ඡායාරූප මූලාශ්‍රය, MAIKE NICOLAI/GEOMAR

"අම්ලකරණය සමුද්‍ර ජීවිතයේ සෑම අංශයකටම විවිධ මට්ටමින් බලපානවා," ඔහු පැවසීය.

"උදාහරණයක් විදියට සීතල ජලයේ කොරල් පරවලට වඩා සාමාන්‍ය උෂ්ණත්වයක් පවතින ජලයේ කොරල් පර ඉතාම සංවේදීයි," මහාචාර්ය උල්ෆ් රීබසල් සඳහන් කළේය.

"ඒ වගේම සාගර ජීවිතයේ වැඩිහිටි අවදියේ දිට වඩා මුල් අවදියේ දී මේ බලපෑම වැඩි වශයෙන් දැනෙන බව අපි සොයා ගත්ත."

මේ සොයා ගැනීම් පිළිබඳව අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ ප්ලිමත් මැරයින් ලැබ්ස් (Plymouth Marine Labs) ආයතනයේ විශේෂඥ ආචාර්ය කැරොල් ටර්ලි (Carol Turley) පවසන පරිදි අම්ලකරණය මගින් "මයික්‍රෝබවල සිට මත්ස්‍යයන් දක්වා" සමුද්‍ර ජීවීන්ට එල්ල කරන බලපෑම පිළිබඳව ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් මේ පර්යේෂණය මගින් හෙළි කරනු ලැබ තිබේ.

සාගරය රත්වීම ඇතුළු වෙනත් කරුණු මගින් මේ බලපෑම මානව සමාජයට කවර ආකාරයේ බලපෑමක් එල්ල කරන්නේ ද යන්න පිළිබඳව ද එමගින් කරුණු හදාරා තිබෙන බවත් ආචාර්ය කැරොල් ටර්ලි බීබීසී යට කියා සිටියාය.

වීඩියෝ ශීර්ෂ වැකිය, මිරිස්ස මුහුදේ තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් 'වඳවීමේ තර්ජනයක්'