"හලෝ" කියන භයානක ඔර්කා තල්මසා ළඟදීම "මාව නිදහස් කරන්න" කියාවිද?

ඡායාරූප මූලාශ්‍රය, MARINELAND
ප්‍රංශයේ ජල ජීවී මධ්‍යස්ථානයක රඳවා සිටින අතරවාරයේ මිනිස් කටහඬ අනුකරණය කිරීමට හුරු වූ භයානක ඔර්කා තල්මසා ළඟදීම "මාව නිදහස් කරන" මෙන් ඉල්ලා සිටිනු ඇති බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු පවසති.
'විකී' නම් ඔර්කා තල්මසෙකු (killer whale) සිය පුහුණුකාරිය අනුකරණය කරමින් සිය වා සිදුරෙන් 'හලෝ' කියන ආකාරය (වීඩියෝව නරඹන්න) විද්‍යාඥයන් විසින් පටිගත කරනු ලැබ තිබේ.
එහෙත් තල්මසුන් කෙතරම් බුද්ධිමත් ද යන්න පිළිබඳව මෙතෙක් දැන සිටි කරුණු පමණක් එමගින් තවදුරටත් තහවුරු වී ඇති බව පවසන විවේචකයන්ගේ අදහස වී තිබෙන්නේ තල්මසුන් ආරක්ෂා කිරීම පිණිස මේ සොයාගැනීම මගින් කිසිදු මෙහෙයක් සිදු නොවන බවය.
'Born Free' නම් පුණ්‍යායතනයේ සභාපති විල් ට්‍රේවර්ස් (Will Travers) අදහස් දක්වමින්: "තල්මසුන්ට හෝ ඩොල්ෆින් මත්ස්‍යයන්ට ස්වභාවිකව හිමි ස්ථානය සාගරය," බව සඳහන් කළේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
"විවිධ සත්ව විශේෂයන්ට අයත් හුඟාක් සතුන්ට මිනිස් කටහඬ අනුකරණය කරන්න පුළුවන්. ඒ නිසා මේක පුවත් සිරස්තලයක් වුනේ ඇයි කියල මට හිතාගන්න බෑ," ඔහු පැවසීය.
"ඇත්තමට ඒ සත්තු 'මාව නිදහස් කරන්න' කියල කියන්න ඉඩ තියෙනව."
තවත් කියවන්න:
ඔර්කා තල්මසුන්ට වෙනත් හඬ අනුකරණය කරමින් අලුත් ශබ්ද ඉගෙනීමට හැකිද යන්න ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ උත්සාහය වී තිබුණි.
එහි සම පර්යේෂකයෙකු වන ආචාර්ය ජෝශප් කෝල් (Dr Josep Call) පවසන්නේ මිනිස් කටහඬ අනුකරණය කිරීමට සමත් සත්වයන් අතරට තල්මසුන් ද එක්වන බව සිය පර්යේෂණයෙන් සනාථ කෙරුණු බවය.
16 හැවිරිදි 'විකී', මිනිස් කට හඬ අනුකරණය කළ ලෝකයේ පළමු තල්මසා බව විශ්වාස කෙරේ.
අනාගතයේ කිසියම් දිනෙක 'විකී' සමග "සංවාදයක නිරතවීමට" හැකියාව ලැබෙනු ඇතැයි සිය පර්යේෂණයෙන් හෙළි වූ බවත් ආචාර්ය ජෝශප් කෝල් පැවසීය.
එහෙත් මෙවැනි පර්යේෂණ මගින් ජලජ ජීවීන්ගේ සැබෑ හැසිරීම පිළිබඳව හැදෑරිය නොහැකි බව 'සී වොච් පදනමේ' (Sea Watch Foundation) විද්‍යාඥ ආචාර්ය පීටර් එවන්ස් (Dr Peter Evans) පවසයි.
"ඇත්තටම හොඳම දේ තමයි ඔවුන් සාගරයේ නිදහසේ ඉන්න අතරවාරයේ හැසිරෙන්නේ කොහොමද කියල අපිට අධ්‍යයනය කරන්න පුළුවන් නම්," ආචාර්ය පීටර් එවන්ස් පැවසීය.
මේ අතර මෙම අධ්‍යයනය හේතුවෙන් මිනිසා විසින් රඳවා ගනු ලැබ සිටින තල්මසුන් ගැන ද යළිත් වරක් අවධානය පළවෙමින් පවතී.









