උතුරු කොරියානු නායකයා සහ දකුණේ නියෝජිතයන් අතර දුර්ලභ හමුවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්, දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.
කිම් ජොන් අන් 2011 දී රටේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව දකුණු කොරියාවේ නිලධාරීන් පිරිසක් ඔහු මුණගැසෙන පළමු වතාව එයය.
ජනාධිපති ප්‍රකාශකයෙක් උපුටා දක්වමින්, එවැනි භෝජන සංග්‍රහයක් පැවැත්වෙන බව දකුණු කොරියාවේ Yonhap පුවත් සේවය වාර්තා කර තිබේ.
සෝල් නුවර සිට ඉතා දුර්ලභ සාකච්ඡාවක් සඳහා එම දූත පිරිස ප්යෝන්ග්යැන්ග් නගරයට පැමිණ සිටින්නේ උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සංවාදය යළිත් ආරම්භ කිරීමේ අරමුණිනි.
පසුගියදා අවසන් වූ හිම ඔලිම්පික් ක්‍රීඩා උළෙලත් සමග කොරියානු රාජ්‍ය දෙක අතර සම්බන්ධතා යළිත් වරක් උණුසුම් වෙමින් පවතී.
පෙර නොවූ විරූ ආකාරයේ පියවරක් තබමින් උතුරු කොරියාව බලා පැමිණ සිටින්නේ අමාත්‍ය මට්ටමේ නියෝජිතයන් දෙදෙනෙකි; රහස් ඔත්තු සේවයේ ප්‍රධානී Suh Hoon සහ ජාතික ආරක්ෂක උපදේශක Chung Eui-yong ඒ දෙදෙනාය.

ඡායාරූප මූලාශ්‍රය, TORU YAMANAKA/GETTY
කොරියානු රාජ්‍යයන් එක්සේසත් කිරීම සම්බන්ධ ඒකකයේ ප්‍රධානී Ri Son-gwon විසින් ඔවුන් දෙදෙනා පිළිගනු ලැබූ බව උතුරු කොරියානු රාජ්‍ය ගුවන් විදුලිය නිවේදනය කළේය.
උතුරු කොරියාවේ න්‍යෂ්ඨික ආයුධ ඉවත්කිරීම සඳහා මෙන්ම එක්සත් ජනපදය සමග සාකච්ඡා සඳහා ද අවශ්‍ය කරන වාතාවරණය සකස්කිරීම පිළිබඳව දකුණු කොරියානු නිලධාරීන් දෙදෙනාගේ අවධානය යොමු කෙරෙනු ඇත.
උතුර සහ දකුණ අතර සම්බන්ධතා තරකිරීම සහ දිගටම සංවාදයක් පවත්වා ගැනීම උදෙසා ජනාධිපති මූන් ජේ ඉන්ගේ කැපවීම තමන් උතුරු කොරියාවට දැනුම්දෙන බව සංචාරයට පෙරාතුව මාධ්‍ය හමුවක් ඇමතූ Chung Eui-yongසඳහන් කළේය.
'ඇමෙරිකාව උනන්දු නැහැ'
මේ අතර පසුගිය සෙනසුරාදා ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් නමුත් ඊට පෙරාතුව උතුරු කොරියාව න්‍යෂ්ඨික ආයුධ අත්හළ යුතු බව පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
එහෙත් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ සූදානම පළකර තිබෙන උතුරු කොරියාව පවසන්නේ ඒ සඳහා එක්සත් ජනපදය පූර්ව කොන්දේසි පැණවීම "අඥාන ක්‍රියාවක්" බවය.
එක්සත් ජනපදය සාකච්ඡා සඳහා උනන්දුවක් නොදක්වන බවක් එමගින් ගම්‍ය වන්නේ යයි උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයක් උපුටා දක්වමින් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර උතුරු කොරියාව පිළිබඳ එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයා වූ ජෝසප් යුන් (Joseph Yun) පසුගිය සතියේ විශ්‍රාම ගැනීමට තීරණය කිරීමත් දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට ඉඩ තිබෙන බවට විශ්ලේෂකයෝ පවසති.
තවත් කියවන්න:








