"උතුරු කොරියාව ඇමෙරිකාවට ගහන්න පුළුවන්"

එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්තිය උතුරු කොරියාව සතු බව මයික් පොම්පියෝ පිළිගනියි
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්තිය උතුරු කොරියාව සතු බව මයික් පොම්පියෝ පිළිගනියි

ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය කෙරෙහි චීනය විසින් එල්ල කරනු ලබන බලපෑමේ මට්ටම සිය කනස්සල්ලට කාරණයක් බව ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) ප්‍රධානී මයික් පොම්පියෝ (Mike Pompeo) පවසයි.

බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ මයික් පොම්පියෝ (Mike Pompeo) ආණ්ඩු පෙරළීමේ රුසියානු මැදිහත්වීම් මෙන්ම චීනයෙන් එල්ල වෙන බලපෑම දෝෂ දර්ශනයට ලක් කළේය.

බටහිර ඔත්තු ජාලයට රිංගා ගනිමින් රහස් තොරතුරු සොරකම් කර ගැනීමට චීනය දරන ප්‍රයත්නය කෙරෙහි තම අවධානය යොමු වූ බවත් ඔහු හෙළිදරව් කළේය.

එම කාර්යයේදී චීනය රුසියාවටත් වඩා "ඉදිරියෙන් සිටින" බව මයික් පොම්පියෝ (Mike Pompeo) කියා සිටියි.

චීනය සතු යෝධ ආර්ථික ශක්තිය ලෝකය පුරා ඔවුන්ගේ බලපෑම ව්‍යාප්ත කර ගැනීම සඳහා බේජිං බලධාරීන්ට ආධාරකයක් වී ඇත යන්න ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) ප්‍රධානියාගේ තක්සේරුව වෙයි.

චීනයේ බලපෑම රුසියාවටත් වඩා ප්‍රබල බව CIA ප්‍රධානියාගේ තක්සේරුවයි
ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ බලපෑම රුසියාවටත් වඩා ප්‍රබල බව CIA ප්‍රධානියාගේ තක්සේරුවයි

චීනයේ එකී හැසිරීම සම්බන්ධයෙන් නිදසුන් ඉදිරිපත් කළ මයික් පොම්පියෝ (Mike Pompeo) එක්සත් ජනපද වාණිජ තොරතුරු සොරකම් කිරීම සහ පාසල් සහ රෝහල් ආදියේ තොරතුරු සොයා සිදු කර ඇති රිංගා ගැනීම් පිළිබඳව සඳහන් කරමින් එවැනි මැදිහත් වීම් එක්සත් රාජධානිය සහ යුරෝපය පුරාත් සිදු කර ඇති බව සඳහන් කළේය.

මයික් පොම්පියෝ (Mike Pompeo) ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීමට පෙර ඉතා දැඩි මතධාරී රිපබ්ලිකන්වාදියකු විය.

මෙම 2018 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ මැතිවරණවල දී රුසියාව ඊට මැදිහත් වෙමින් එය අඩාල කිරීමට තැත් කරනු ඇතැයි තමා සිතන බවත් ඔහු පවසයි.

එසේම මාස කීපයක් ඇතුළත එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්තිය උතුරු කොරියාව සතු බවත් මයික් පොම්පියෝ (Mike Pompeo) පිළිගනියි.

ජනාධිපති පදවිය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සතු සුදුසුභාවය අභියෝගයට ලක් කරමින් මයිකල් වොල්ෆ් විසින් ප්‍රකාශයට පත් කරන ලද 'Fire and Fury' කෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මයික් පොම්පියෝ (Mike Pompeo) එය 'විකාර අදහස්වලින් පිරුණ ප්‍රකාශනයක්' ලෙස විග්‍රහ කළේය.

මයික් පොම්පියෝ (Mike Pompeo) ජනාධිපති ට්‍රම්ප්ගේ කීකරු අනුගාමිකයකු ලෙස සැලකෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මයික් පොම්පියෝ (Mike Pompeo) ජනාධිපති ට්‍රම්ප්ගේ කීකරු අනුගාමිකයකු ලෙස සැලකෙයි

තවදුරටත් අදහස් දැක්වූ මයික් පොම්පියෝ (Mike Pompeo) මැදපෙරදිගට පමණක් නොව යුරෝපය කෙරෙහි ද එල්ල වෙමින් පවතින ඉරාන් බලපෑම පිළිබඳවත් අනතුරු ඇඟවීමක් කරයි.

දුෂ්ට ක්‍රියාවලට උඩගෙඩි දෙන බවට 'ටෙහෙරාන්' බලධාරීන්ට චෝදනා කළ ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) ප්‍රධානී මයික් පොම්පියෝ (Mike Pompeo), ඉරාන් ජනතාව ඔවුන්ගේ ආණ්ඩුවට එරෙහිව අභියෝග කරමින් නැඟී සිටිනු ඇතැයි තමා බලාපොරොත්තු තබන බවත් බීබීසී සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සබැඳි පුවත්;