"උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් විදලා" - දකුණු කොරියාව

North Korea tested its first intercontinental ballistic missile in July

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාව ජූලි මාසයේදී සිය ප්‍රථම අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීය

උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් විදින ලද බව හමුදා නිලධාරීන් උපුටා දක්වන දකුණු කොරියානු මාධ්‍ය පවසයි.

යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසු පරිදි මිසයිලය නැගෙනහිර දෙසට පියාසර කර ඇත.

කෙතරම් දුරට එය ඇදී ගියේද යන්න හෝ මේ වසර මුලදී සිදුවූ පරිදි එය ජපානයට ඉහළින් ගියේද යන්න පැහැදිලි නැත.

දකුණු කොරියානු සන්නද්ධ හමුදා ප්‍රධානීන් නිකුත් කළ ප්‍රකාශයකට අනුව උතුරු කොරියාවේ ප්යෝන්ගන් පළාතේ ප්යෝන්ග්සොන් හි සිට මිසයිලය නිකුත් වී තිබේ.

සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් උණුසුම වැඩිවෙද්දී මේ වසරේදී උතුරු කොරියාව මිසයිල කිහිපයක් අත්හදා බැලීය.

සමාන පුවත් :

උතුරු කොරියාව පසුගිය සැප්තැම්බරයේදී අවසන්වරට බැලිස්ටික් මිසයිලයක් අත්හදාබැලුවේ සිය හයවෙනි න්‍යෂ්ටික අත්හදාබැලීමෙන් දින කිහිපයකට පසුය.

මේ අලුත්ම මිසයිලයේ ගමන්මග පිළිබඳව දකුණු කොරියානු හා ඇමෙරිකානු බලධාරීන් විශ්ලේෂණය කරමින් සිටින බව දකුණු කොරියානු හමුදා නිවේදනයක දැක්විණි.

උතුරු කොරියාවේ මිසයිල සාර්ථකද ?

ඒ අතරම තමන්ගේම මිසයිල ක්‍රියාකාරීත්වයකින් ඊට ප්‍රතිචාර දැක්වූ බවද දකුණු කොරියානු හමුදාව පැවසීය.

ඇමෙරිකාවේ ප්‍රධාන භුමි ප්‍රදේශයට ළඟාවිය හැකි දිගු දුර මිසයිල සංවර්ධනයට උතුරු කොරියාව අවධානය යොමු කර ඇති බව විශ්වාස කෙරිණි.

පසුගිය ජූලි මාසයේදී තමන් විසින් අත්හදාබලන ලද දිගු දුර මිසයිලය "ලොව ඕනෑම තැනකට" එල්ල කළ හැකි බව ප්යෝන්ග්යැන්ග් නිලධාරීන් පැවසුවද ඇමෙරිකානු හමුදාව එය හඳුනවාදුන්නේ අතරමැදි දුර මිසයිලයක් ලෙසිනි.

උතුරු කොරියාවේ අවසාන න්‍යෂ්ටික අත්හදාබැලීම සඳහා දිගු දුර මිසයිලයක ගෙන යා හැකි කුඩා ප්‍රමාණයේ හයිඩ්‍රජන් බෝම්බයක් ඇතුළත්වූ බවට පළවූ වාර්තා ඇමෙරිකාව සමග ඇති උණුසුම් තත්ත්වය තවත් තීව්‍ර කිරීමට හේතුවිය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල හේතුවෙන් පසුගිය සතියේදී උතුරු කොරියාවට එරෙහිව ඇමෙරිකාව විසින් අලුත් සම්බාධක පනවන ලදී. එයින් ඉලක්ක කෙරුනේ උතුරු කොරියානු නාවික මෙහෙයුම් හා එරට සමග ගනුදෙනු කරන චීන සමාගම් ය.