බංග්ලාදේශ හිටපු අගමැතිනි කලදා ෂියාට සිර දඬුවම්: අගනුවර ගැටුම්

Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු අගමැතිනිය කලෙදා ෂියා ඇයට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි

දූෂණ චෝදනා ලබා සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි කලදා ෂියාට අවුරුදු පහක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් අනතුරුව පොලිසිය සහ දහස් ගණන් විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගත්තේය.

හිටපු අගමැතිනිය වරදකරු කරනු ලැබ සිටින්නේ ළමුන් වෙනුවෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලැබුණ ඩොලර් 252,000 කට ආසන්න ජාත්‍යන්තර ආධාර අවභාවිත කිරීම සම්බන්ධයෙනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්තාවේදී ඩකා නුවර පිහිටි අධිකරණය ඉදිරිපිට රැස්වූ කලදා ෂියාගේ ආධාරකරුවන් දහස් ගණනක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදු විය.

හැත්තෑ දෙවැනි වියේ පසුවන විපක්ෂ නායිකාව තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තීන්දුව ප්‍රකාශයට පත් කළ දින ධකා නුවර සහ ඒ අවට ආරක්ෂාව තර කරන ලදී

මෙම දඬුවම හේතුවෙන් ඇයට මෙම වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ සහාය දීමට නොහැකි වන අතර, එය දේශපාලන බලපෑම් මත ලබා දුන් අධිකරණ තීන්දුවක් බව විපක්ෂ නායිකාවගේ ස්ථාවරයය.

වර්තමාන අගමැති ෂෙයික් හසිනාගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන කලදා ෂියාට එරෙහිව තවත් නඩු කිහිපයක්ම පවරනු ලැබ තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කර මිනිත්තු කිහිපයකින් පසු ඇය බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.

"මම නැවත එනවා. දුක් වෙන්න එපා, ශක්තිමත් වෙන්න," වැලපෙමින් සිටින තම ඥාතීන්ට ඇය පැවසු බව ඩේලි ස්ටාර් (Daily Star) පුවත්පත වාර්තා කරයි.

ලන්ඩනයේ සිටින ෂියාගේ පුත් තාරික් රහමන් ඇතුළු ඇයගේ ආධාරකරුවන් හතර දෙනෙකුට එක් අයෙකුට වසර දහය බැගින් වූ සිර දඬුවම් නියම විය.

තීන්දුව ප්‍රකාශයට පත් කළ දින ඇති වුණ නොසන්සුන්තා හේතුවෙන් ඩකා නුවර සහ ඒ අවට ආරක්ෂාව තර කරන ලද අතර පාසල් සහ කඩ සාප්පු විශාල ප්‍රමාණයක් වසා දැමුණු බව වාර්තා වේ.

Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ තීන්දුව දේශපාලන බලපෑම්වලට යටත් වී ඇති බව ෂියා සහ ඇයගේ ආධාරකරුවන් පවසා සිටිති

මේ තොරතුරුද දැනගන්න: