අගමැති නවාස් ෂරීෆ් පදවිය රැක ගනී

තමාට එරෙහි චෝදනා දේශපාලන අරමුණු මත ගොතන ලද ඒවා යයි අගමැති ෂරීෆ් පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තමාට එරෙහි චෝදනා දේශපාලන අරමුණු මත ගොතන ලද ඒවා යයි අගමැති ෂරීෆ් පවසයි

පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අගමැතිවරයා පදවියෙන් ඉවත් කරනු ලැබීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවූ බව පාකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී ඇත.

අගමැති නවාස් ෂරීෆ් ගේ පවුලේ සාමාජිකයන් විසින් විදේශයන්හි ව්‍යාපාරික කටයුතුවල නිරත වීමේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කරනු ලැබීම ආරම්භ කෙරුණේ, ඔහුගේ පුතුන් හතර දෙනාගෙන් තිදෙනකුට රටින් පිටත බැංකු ගිණුම් ඇතිබව 'පැනමා' ලියකියවිලි මගින් අනාවරණය කෙරුණ අවස්ථාවේය.

එහෙත් එම චෝදනා දේශපාලන අරමුණු මත ඉදිරිපත් කොට ඇතැයි පවසමින් අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඒවා බැහැර කරනු ලැබ ඇත.

පරීක්ෂණ අවසානයේ අගමැතිවරයා අදාළ චෝදනාවලින් නිදහස් වන බවට දැඩි විශ්වාසයක් පවතින බව පාකිස්තාන් ආණ්ඩුව පවසයි.

මාරියම් ෂරීෆ්; අගමැති පියාගේ සමීපතම උපදේශිකාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මාරියම් ෂරීෆ්; අගමැති පියාගේ සමීපතම උපදේශිකාව

අද (අප්‍රියෙල් 20) ප්‍රකාශයට පත් කෙරුණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අදාළ චෝදනා විභාග කිරීම සඳහා දින හතක් ඇතුළත ඒකාබද්ධ පරීක්ෂණ මණ්ඩලයක් පත් කෙරෙනු ඇත.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 540 කින් සමන්විත වන අතර පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයෙන් තිදෙනෙකු තීන්දුවට පක්ෂ වූ අතර දෙදෙනකු ඊට එරෙහි වූහ.