පැනමා ලිපිගොණු ගැන කරුණු පහක්
ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි.
ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු ඉහත කී ලිපිගොණු ලොව පුරා පුවත් සිරස්තල මවන්නට හේතු විය.
01. බදු රැකවරණ ලබා දෙන 'ක්ෂේම භූමියක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty
තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා වෙනත් රටවල සමාගම් ලියාපදිංචි කරන ධනවතුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් විසින් තම මුදල් එම සමාගම්වල යොදවනු ලැබේ.
එවැනි සමාගම් හා සම්බන්ධ සාක්ෂි ලෝකයාගෙන් වසන් කිරීමට ඉහත කී පිරිස් බොහෝ විට සමත් වෙති.
එසේ ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගම සිය සේවාදායකයන්ට පහසුකම් සලසා දී ඇති බවයි පසුගියදා එළිදැක්වුණු ලිපිගොණු මගින් පෙනෙන්නට තිබෙන්නේ.
02. මිතුරු සමාගම්

ඡායාරූප මූලාශ්‍රය, RIA Novosti
බදු රැකවරණ ලබා දෙන ක්ෂේම භූමි වෙත ගලා ආ මුදල් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතීන්ට අයත් බවක් නොපෙනේ.
නමුත් ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සම්භාරයක් රුසියානු ජනපතිවරයාගේ මිතුරන්ට අයත් බවයි පෙනෙන්නට ඇත්තේ.
ක්‍රෙම්ලිනය විසින් පැනමා ලිපිගොණු හා සම්බන්ධ හෙළිදරව් විග්‍රහ කරනු ලබන්නේ රුසියාවේ නාමයට හානි කිරීම සහ පූතින් භීතිය ඇති කිරීමේ සංඥාවක් ලෙසයි.
තම මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා සිය විශ්වසනීය මිතුරන් යොදා ගෙන ඇතැයි පෙනෙන්නට තිබෙන බව ඇතැමෙකුගේ අදහසයි.
03. අයිස්ලන්තය

ඡායාරූප මූලාශ්‍රය, Getty
සිය ස්කැන්ඩිනේවියානු ඥාති සහෝදරයන් මෙන් යහපත්, අවංක, ශිෂ්ට සම්පන්න සහ විශ්වසනීය රටක් බවයි අයිස්ලන්තය පිළිබඳව මෙතෙක් පැවති උපකල්පනය වූයේ.
පැනමා ලිපිගොණු එළිදැක්වීමත් සමග ඩොලර් මිලියන ගණනක වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳ අයිස්ලන්ත අගමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය.
ඒ සමග දහස් ගණනක් ජනතාව වීදි බැස අගමැතිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වූහ.
දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය.
04. බ්‍රිතාන්‍ය අගමැති සහ බොලිවුඩ් රජු

ඡායාරූප මූලාශ්‍රය, AFP
පැනමා ලිපිගොණුවලින් හෙළි වූ කරුණු පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නැසී ගිය පියා ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි විය.
තම පියා ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද විදේශ සමාගම් වල කොටස් සඳහා තමා ද හිමිකම් කියන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් පිළිගෙන තිබේ.
මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවංකභාවය පිළිබඳ විවේචන එල්ල වීමත් සමග සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට ඔහු කටයුතු කළේය.
වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් කියා සිටියේ.
අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම් පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බවයි 'ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොටතිබුණේ.
05. පෙරදිග සහ මැදපෙරදිග

ඡායාරූප මූලාශ්‍රය, afp
පැනමා ලිපිගොණු හා සම්බන්ධ ඇතැම් පුවත් අන්තර්ජාලය තුළ සෙවීම චීන වැසියන්ට අපහසු කාර්යයක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් වෙනත් රටවල ලියාපදිංචි කරනු ලැබූ සමාගම් හා සබඳතා පැවති බව දැක්වෙන බලයේ සිටින සහ පෙර බලයේ සිටි චීන නායකයන් හත් දෙනෙකුගේ ඥාතීන් වෙත චෝදනා එල්ල කරමින් පළ වූ ලිපි ඒ අතුරින් විශේෂයි.
චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහ එරට පාලක මණ්ඩලයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයන් දෙදෙනෙකුගේ නම් පැනමා ලිපිගොණු තුළ ඇතුළත් වේ.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පනවනු ලැබ තිබියදීත් සිරියාවේ පාලනය හා සම්බන්ධ ප්‍රමුඛ පෙළ සාමාජිකයකු වන රාමි මක්ලොවුෆ්ට සිය සමාගම්වල වෙළඳ කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසා දී ඇති බව පැනමා ලිපිගොණුවලින් හෙළි විය.
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය එම සංගම් පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් ලිපිගොණු මගින් පෙනෙන්නට තිබේ.








