පැනමා ලිපිගොණු: කැමරන්, බච්චන් කරුණු පහදති

'මම ඔය කියන ආකාරයේ කිසිම සමාගමක අධ්‍යක්ෂක ධුරය දරා නැහැ. ඒ සඳහා මගේ නම අවභාවිතා කළා විය හැකියි'

ඡායාරූප මූලාශ්‍රය, getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මම ඔය කියන ආකාරයේ කිසිම සමාගමක අධ්‍යක්ෂක ධුරය දරා නැහැ. ඒ සඳහා මගේ නම අවභාවිතා කළා විය හැකියි'

පැනමා ලේඛනවලින් හෙළි වූ කරුණු පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ.

වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් පවසන්නේ.

ධනවත් පුද්ගලයන්ට තම රටවල ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට හැකි වන අයුරින් පැනමා රාජ්‍යයේ පිහිටි මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ සමාගම ලොවපුරා සමාගම ආරම්භ කොට ඇති බව දැක්වෙන රහස්‍ය ලිපි ගොනු අතර සුපිරි නළු අමිතාබ් බච්චන් ගේ නමත් තිබෙන බවයි 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොට තිබුණේ.

අමිතාබ් බච්චන් අධ්‍යක්ෂකවරයා වශයෙන් නම් කරනු ලැබූ නාවුක සමාගම් හතරක්වත් 1993 වසරේදී බහමා සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල ලියාපදිංචි කොට ඇති බවත් 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් පත වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අභාවප්‍රාප්ත පියා, ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අභාවප්‍රාප්ත පියා, ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි වී තිබේ

මේ අතර ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රකාශකයෙක්, අගමැතිවරයා, ඔහුගේ බිරිඳ හෝ දරුවන් ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම්වලින් දැනට හෝ අනාගතයේදී කිසිදු වාසියක් නොලබන බව සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අභාවප්‍රාප්ත පියා, ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි වී තිබේ.

අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම්ද පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බව 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වැඩිදුරටත් වාර්තා කොට තිබිණි.

අයිශ්වර්යා රායිගේ මාධ්‍ය උපදේශකවරයා විසින් පැනමා ලිපිගොනුවල සත්‍ය අසත්‍යතාව ප්‍රශ්න කරනු ලැබ ඇති අතර, අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන් කියා සිටියේ තමා හා ඉහත සඳහන් සමාගම් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

"මම ඔය කියන ආකාරයේ කිසිම සමාගමක අධ්‍යක්ෂක ධුරය දරා නැහැ. ඒ සඳහා මගේ නම අවභාවිතා කළා විය හැකියි," සුපිරි නළු අමිතාබ් බච්චන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

හැකරුන් විසින් සිය සමාගමේ පරිගණකවලට අනවසරයෙන් ඇතුලු වී එම දත්ත සොරා ගෙන ඇති බව පවසමින් අපරාධ නඩුවක් පවරන ලද බව මොසැක් ෆොන්සේකා සමාගමේ සම නිර්මාතෘ රැමෝන් ෆොන්සේකා මේ අතර පවසයි.