'පැනමා ලිපිගොණු' : ස්වාධීන කොමිසමක් පත්කෙරෙයි

ස්වදේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත්කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වදේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත්කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ

මොසැක් ෆොන්සේකා සමාගමේ වසර හතළිහක ගණුදෙනු වලට අදාළ ලිපිගොණු මිලියන ගණනක් එළිදැක්වීමෙන් පසු ඇතිවී තිබෙන ජාත්‍යන්තර අවධානය හමුවේ අදාළ චෝදනා පිලිබඳ සොයා බැලීමට විශේෂ කොමිසමක් පත් කිරීමට පැනමා රජය කටයුතු කරමින් සිටී.

පැනමා ජනාධිපති ජුවාන් කාලෝස් වරේලා (Juan Carlos Varela) පැවසුවේ ස්වදේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත් කිරීමට පැනමා විදේශ අමාත්‍යංශය කටයුතු කරන බවයි.

විදේශ සමාගම් සම්බන්ධ ගණුදෙනු පිලිබඳ වර්තමාන ක්‍රමවේදයන් පිලිබඳ යළි සලකා බලා පැනමාවේ මුල්‍ය හා නීති ක්‍රමවේදයෙන් හි විවෘතභාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

පැනමාව තම බදු ක්‍රමවේදය නිවැරදිකරගැනීමට අපොහොසත්වීම පිළිබඳව ලෝක ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිලිබඳ ආයතනය විසින් කෝපයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබුණේ මේ සතිය මුලදී ‘පැනමා ලිපිගොණු’ එළිදැක්වීමෙන් පසුවයි.