ජනාධිපති සිල්වාට අවුරුදු නවය හමාරක සිර දඬුවමක්

ලූලා ද සිල්වා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි.

දූෂණ චෝදනා ලැබ සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා අවුරුදු නවය හමාරක සිර දඬුවමකට යටත් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි.

වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීමක් සම්බන්ධයෙන් එම අල්ලස ලබාගෙන ඇති බව ලූලා ද සිල්වාට එරෙහි චෝදනා මගින් කියැවෙයි.

එහෙත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිවේදීහු පවසති.

එම නෛතික අරගලය නිමවෙන තෙක් ඔහු බන්ධනාගාර නොකරන බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව ලූලා ද සිල්වාට ඔහු සැලසුම් කරමින් සිටි ආකාරයට මී ළඟ බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලැබෙනු ඇත.

මී ලඟ බ්‍රසීල ජනාධිපහිවරණය සඳහා සූදානම් වෙමින් සිටින අපේක්ෂකයන් අතර ඔහු ශක්තිමත් ස්ථානයක සිටින බව බ්‍රසීල දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයෝ පවසති.

ලූලා ද සිල්වා බලයෙන් පහ කෙරුණ හිටපු ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ් සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Agencia brasil

ඡායාරූප ශීර්ෂ වැකිය, ලූලා ද සිල්වා බලයෙන් පහ කෙරුණ හිටපු ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ් සමඟ

බ්‍රසීල ආණ්ඩුවේ සහ ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛ පුද්ගලයන් විසින් සිදු කරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇති දූෂණ සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විභාග වලදී බලවත්ම පුද්ගලයකු වරදකරු කෙරෙමින් දුන් පළමු නඩු තීන්දුව මෙයයි.

කෙසේවුවද, මෙය ලූලා ද සිල්වා ලද විශාල පරාජයක් ලෙස විග්‍රහ කෙරෙයි.

ළමා වියේ දිළිඳු භාවයෙන් පීඩා විඳින ලද ලූලා ද සිල්වා වෘත්තීය සමිති නායකයකු හැටියට නැඟී සිටි නායකයකු වන අතර, ඔහු බ්‍රසීලයේ අතිශයින් ජනාදරයට පත් ජනාධිපතිවරුන් කීප දෙනාගෙන් එක් අයෙකි.