මීළඟ නායිකාව ලෙස සැලකුණ හිටපු ජනපති දියණිය රැඳවුම් භාරයේ

ගුල්නාරා කරීමවා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කලක් උස්බෙකිස්තානයේ ඉතා බලගතු කාන්තාවක වූ, හිටපු ජනාධිපති ඉස්ලාම් කරීමොෆ් ගේ දියණිය රඳවාගෙන සිටින බව බලධාරීහු තහවුරු කළහ.

45 හැවිරිදි ගුල්නාරා කරීමවා සිය පියාගෙන් අනතුරුව රටේ බලයට පත්වනු ඇතැයි මුලදී විශ්වාස කෙරිණ.

එහෙත් දශක දෙකකට වැඩි කාලයක් 'යකඩ හස්තයකින්' උස්බෙකිස්තානය පාලනය කළ ඉස්ලාම් කරීමොෆ් ගේ පාලනය සමයේදීම ඇය සිය පියා සමග ගැටුම් ඇතිකරගත්තාය.

සබැඳි යොමු:

ඉස්ලාම් කරීමොෆ් පසුගිය සැප්තැම්බර් මාසයේ මිය ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් සිය පියාගේ පාලනය සමයේදීම දූෂණ චෝදනාවකට වැරදිකරු කෙරුණු ඇය 2015 සිට රැඳවුම් භාරයේ පසුවන බව නීතිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කළේය.

නීතිපතිවරයා පවසන පරිදි ඇයට එරෙහිව පස් වසරක් රඳවා ගැනීමේ නියෝගයක් 2015 දී නිකුත් කර තිබේ.

Gulnara Karimova fell from grace after a family feud in 2014

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගුල්නාරා කරීමවා නිවාස අඩස්සියේ පසුවන බව විශ්වාස කෙරෙන අතර, ඇය රඳවා සිටින්නේ කුමන ස්ථානයක ද යන්න පැහැදිලි නැත.

කලක් ස්පාඤ්ඤයේ උස්බෙකිස්තාන තානාපතිවරිය ලෙසින් ද කටයුතු කළ ගුල්නාරා කරීමවා, උස්බෙකිස්තානයේ ජාත්‍යන්තර නාමය බවට පත්ව සිටියාය.

ඇයට සිය නමින්ම මෝස්‌තර සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් තිබූ අතර, සිය පොප් ගීත තැටිගත කරමින් සහ බෙදාහරිමින් ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටියාය.

'කළු සල්ලි ජාවාරම'

එහෙත් 2014 දී සිය පවුල සමග ගැටුම ඇතිකර ගැනීමත් සමග ඇයට එරෙහිව අල්ලස් සහ 'කළු සල්ලි ජාවාරම' පිළිබඳව ද චෝදනා එල්ලවන්නට විය.

ඇයට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ චෝදනා දෙකක් සම්බන්ධ විස්තර නීතිපති දෙපාර්තමේන්තුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඩොලර් බිලියනයකට ආසන්න වත්කම් ඇය සතුව රටවල් දොළහක තිබෙන බව එක් චෝදනාවකි. රුසියාව, මෝල්ටාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇය සතු වත්කම් තිබෙන බව පැවසෙන රටවල් අතර වේ.

ඉස්ලාම් කරීමොෆ් සහ බිරිඳ දියණියන් දෙදෙනෙකුගේ දෙමාපියන්ය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉස්ලාම් කරීමොෆ් සහ බිරිඳ දියණියන් දෙදෙනෙකුගේ දෙමාපියන්ය

ඇය එක් දූෂණ චෝදනාවක වැරදිකරු බව තීරණය කරනු ලැබීමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝගය නිකුත් කළ බව ද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

වංචා, කළු සල්ලි ජාවාරම සහ විදෙස් මුදල් සැඟවීම යන චෝදනා සම්බන්ධ විමර්ශන තවමත් අවසන් වී නැති අතර, ඇයගේ වත්කම් තහනම් කරන්නේ ද යන්න පිළිබඳව ද සලකා බලමින් සිටින බවත් බලධාරීහු පවසති.

පසුගිය දෙසැම්බරයේදී බීබීසී ය සමග සාකච්ඡාවකට සහභාගි වූ ගුල්නාරාගේ පුත් කණිෂ්ඨ ඉස්ලාම් කරීමොෆ්, සිය මව හුදෙකලා කොට රඳවාගෙන සිටින බවට උස්බෙකිස්තානයේ ආරක්ෂක බලධාරීන්ට චෝදනා කළේය.

මේ වනවිට ලන්ඩන් නුවර වාසය කරන ඔහු, සිය මව රඳවාගෙන සිටින ස්ථානය හෙළි කරන මෙන් ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.