'රානා ප්ලාසා' හිමියාට වසර තුනක සිර දඬුවමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙයින් වසර තුනකට පෙර බංග්ලාදේශයේ 'ධකා' අගනුවර කඩා වැටුණ 'රානා ප්ලාසා' (Rana Plaza) ඇඟලුම් කම්හල හිමි සොහෙල් රානා දූෂණ චෝදනා යටතේ විභාග කෙරුණ නඩුවක දී වරදකරු යයි තීන්දු කොට අවුරුදු තුනක සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.
බංග්ලාදේශ් අල්ලස් විරෝධී කොමිසමට ඔහුගේ වත්කම් හෙළිදරව් කිරීමට අසමත් වීම සොහෙල් රානාට එරෙහි මේ නඩුවේ චෝදනාව විය.
'රානා ප්ලාසා' මන්දිරය කඩා වැටීමේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ තවත් නඩුවක් විභාගයට ගැනෙමින් ඇත.
2013 වසරේ 'රානා ප්ලාසා' අනතුරෙන් 1100 කට අධික ජීවිත විනාශයක් සිදු වූ අතර 2500 ක් කම්කරුවන් සුන්බුන් අතරින් එළියට ඇද ගැනීමට හැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, GMB AKASH
දිවි බේරුණ අයගෙන් වැඩිදෙනා ඉතා බරපතළ තුවාල ලැබ සිටියහ.
'රානා ප්ලාසා' අනතුරට ගොදුරු වූවන්ගෙන් වැඩිදෙනා වුණේ ඇඟලුම් සේවිකාවන්ය.
එම අනතුර බංග්ලාදේශ් කර්මාන්ත ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම ඛේදවාචකය විය.
එම අනතුරත් සමඟ ඇඟලුම් ව්‍යාපාරිකයන් ලෝකය පුරා ශ්‍රමිකයන්ට සලකන ආකාරය විශාල වශයෙන් විවේචනයට ලක් වීම ආරම්භ විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
බංග්ලාදේශයේ ලාභ ශ්‍රමයෙන් ප්‍රයෝජන ගන්නා බටහිර රටවල ප්‍රධාන පෙළේ සිල්ලර වෙළෙඳ සමාගම්, එරට නිෂ්පාදනය කරන රෙදිපිළි අලෙවියෙන් අධි ලාභ ලැබීමත් එම කම්කරුවන්ගේ තත්වය නොතකා හරිමින් කටයුතු කිරීමත් ලෝකය පුරා විවේචනයට ලක්වීම ආරම්භ වුණේ 'රානා ප්ලාසා' අනතුරෙන් පසුවයි.
ඇඟලුම් කම්හල කඩා වැටීමේ දී සිදු වූ මරණ වලට වගකිව යුතු යයි තීන්දු කෙරුනොත් සොහෙල් රානා සහ ආණ්ඩුවේ නිලධාරීන් ද ඇතුළුව තවත් තිස් හත් දෙනකු මරණීය දණ්ඩනයට යටත් කෙරෙනු ඇත.
මහල් සයකට සීමා විය යුතු 'රානා ප්ලාසා' මන්දිරයට තවත් අතිරේක මහල් තුනක් අනවසරයෙන් එක් කරනු ලැබීම මගින් ගොඩනැගිලි තැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද සොහෙල් රානා සහ තවත් දාහත් දෙනෙක් චෝදනා ලබති.

ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා ඇති බවට පැමිණිලි කළත් පැවති අනතුර නොතකා රැකියාවන්ට වාර්තා කරන ලෙස කම්හල හිමියන් තමන්ට නියෝග කළ බව අනතුරෙන් දිවි බේරුණ කම්කරුවෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
'රානා ප්ලාසා' අනතුරත් සමඟ ඉන්දියාවට පළා ගිය සොහෙල් රානා එහිදී අත් අඩංගුවට ගෙන බංග්ලාදේශයට ගෙන එනු ලැබීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුණි.








