කොරියානු රාජ්‍යයන් දෙක ක්‍රීඩාවට අමතරව වෙනත් කරුණු සාකච්ඡාවට ගනීද?

රාජ්‍ය නායක කිම් යොන් නම් (Kim Yong-nam ) ක්‍රීඩාවට අමතරව තවත් සාකච්ඡාවලට සහභාගී වනු ඇද්දැයි අනුමාන පළ වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය නායක කිම් යොන් නම් (Kim Yong-nam ) ක්‍රීඩාවට අමතරව තවත් සාකච්ඡාවලට සහභාගී වනු ඇද්දැයි අනුමාන පළ වෙමින් පවතී.

උතුරු කොරියාවේ නිල රාජ්‍ය නායකයා ලෙස සැලකෙන කිම් යොන් නම් (Kim Yong-nam )මේ සතිය ඇතුළත දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙන බව නිවේදනය කරනු ලැබ ඇත.

'ප්යෝන්ග්යැන්' පාලනය කිම් ජොන් උන් අණසක යටතේ ක්‍රියාත්මක වෙන නමුත් අනූ හැවිරිදි කිම් යොන් නම් එරට නිල රාජ්‍ය නායකයා වශයෙන් සැලකෙයි.

කෙසේ වුවද, ඔහුගේ සංචාරය කොරියානු අර්ධද්වීයේ සාමකාමී තත්වයක් ජනිත කරනු ඇතැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් (Moon Jae-in)පවසයි.

අනූ හැවිරිදි කිම් යොන් නම් එම සංචාරයේ නිරත වෙන්නේ ඔලිම්පික් හිම තරඟාවලිය සඳහා සහභාගී වීමටය.

දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙන උතුරු කොරියානු පාලනයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා බවට ඔහු පත් වෙයි.

දකුණු කොරියාවේ 'ප්යෝන්ග්චෑන්' (Pyeongchang) නගරයේ ඔලිම්පික් තරඟාවලිය සමාරම්භ කිරීමේ සිකුරදා උත්සවයට කිම් යොන් නම් සහභාගී වෙන බව උතුරු කොරියාව විසින් තහවුරු කරනු ලැබ ඇත.

එකම ධජයක් යටතේ ක්‍රීඩා කළත් කොරියානු රාජ්‍යයන් දෙක අතර තවමත් පවතින්නේ යුදමය වාතාවරණයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එකම ධජයක් යටතේ ක්‍රීඩා කළත් කොරියානු රාජ්‍යයන් දෙක අතර තවමත් පවතින්නේ යුදමය වාතාවරණයකි

මෙවර ඔලිම්පික් හිම තරඟාවලියට සහභාගී වෙන කොරියානු රාජ්‍යයන් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාරම්භක උත්සවයේ දී එකම ධජයක් යටතේ ගමන් කරනු ඇත.

මේ අවස්ථාව කොරියානු රාජ්‍යයන් දෙකේ සම්බන්ධය සංකේතවත් කළත් එය උතුරු කොරියාවේ න්‍යෂ්ටික අභිලාෂය කෙරෙහි බලපෑමක් ඇති කරන හැඩක් දක්නට නැතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

ඔලිම්පික් හිම තරඟාවලිය සඳහා උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි දෙදෙනෙක් දකුණු කොරියාවට පැමිණ සිටින අතර දින තුනක සිය සංචාරයේ දී රාජ්‍ය නායක කිම් යොන් නම් ඔවුන්ට නායකත්වය දෙනු ඇත.

අනූ හැවිරිදි කිම් යොන් නම් සිය දීර්ඝ දේශපාලන ජීවිතයේ දී උතුරු කොරියානු රාජ්‍යය නිර්මාණය වීමෙන් අනතුරුව කිම් ඉල් සුං පටන් එරට පාලනය කළ රාජ්‍ය නායකයන් තුන්දෙනාම දැක ඇත.

උතුරු කොරියානු කාන්තා හොකි කණ්ඩායම දකුණු කොරියාවේ දී පිළිගන්නා ලද ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු කාන්තා හොකි කණ්ඩායම දකුණු කොරියාවේ දී පිළිගන්නා ලද ආකාරය

උතුරු කොරියාවේ රාජ්‍ය නායකයා හැටියට ගෞරවාන්විත පදවියක් දරන කිම් යොන් නම් වෙත පැවරුන කාර්යයන් වන්නේ 'ප්යෝන්ග්යැන්ග්' නගරයට සැපත්වෙන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගැනීම වැනි කාර්යභාරයකි.

එසේම විදේශීය රාජ්‍ය නායකයන්ට ශුභ පැතුම් යැවීම මෙන්ම ඇතැම් අවස්ථාවන්හි කනගාටුව පළ කරනු ලැබීමත් ඔහුගේ නිල පදවිය යටතේ සිදු කෙරෙයි.

'උත්තරීතර මහජන මණ්ඩලය' යනුවෙන් නම් කරනු ලැබ ඇති රබර් මුද්‍රාවක් වැනි උතුරු කොරියානු පාර්ලිමේන්තුවේ සභාපති පදවියත් ඔහු 1998 පටන් හොබවනු ලබයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මෙන් නොව කිම් යොන් නම් විදේශ සංචාරයන්හි පවා නිරත වෙයි.

ජනාධිපති හසන් රුහානි පදවියේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඔහු 2017 වසරේ ඉරානයේ සංචාරයක නිරත විය.

කෙසේ වුවද, ඔලිම්පික් හිම ක්‍රීඩාවලිය පැවැත්වෙන අතරවාරයේ උතුරු කොරියාව සිය ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දකුණු කොරියාවට යැවීම මගින් ක්‍රීඩාවට අමතරව වෙනත් සාකච්ඡා සිදුවේද ? යන්න සම්බන්ධයෙන් ද අනුමාන පළ වෙමින් පවතී.

කොරියානු රාජ්‍යයන් දෙකේ එක්සත් හොකි ක්‍රීඩිකාවන් ස්වීඩනයට එරෙහිව මිතුරු තරඟයක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොරියානු රාජ්‍යයන් දෙකේ එක්සත් හොකි ක්‍රීඩිකාවන් ස්වීඩනයට එරෙහිව මිතුරු තරඟයක

එහෙත් මේවනවිට කලාපයේ විසංවාදී තත්වයක් ද මතුව පවතින බවක් වාර්තා වෙයි.

ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී කොරියානු රාජ්‍යයන් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියෙන් ගෙනයනු ලබන කොඩිය සම්බන්ධයෙන් ජපානය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ජපානය විසින් හිමිකම් කියනු ලබන එහෙත් දැනට දකුණු කොරියාව විසින් පාලනය කරනු ලබන දූපත් සමූහයක් එම කොඩියට ඇතුළත් කර තිබීම එම විරෝධයට හේතුව වී ඇත.

සබැඳි පුවත්;