කිම් ජොන් අන් සාකච්ඡාවට යාවිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු කොරියාවත් සමඟ ඍජු සාකච්ඡා ලබන සතියේ ආරම්භ කිරීමට තමන් සූදානම් බව දකුණු කොරියාව පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සිය නව අවුරුදු දේශනයේ දී දකුණු කොරියාවත් සමඟ සාකච්ඡා සඳහා තම සූදානම ප්‍රකාශයට පත් කළ අතර ඒ සමඟ 'සෝල්' පාලනයේ ප්‍රතිචාරය පළ විය.
කොරියානු රාජ්‍යයන් දෙක ඒකාබද්ධ කිරීම භාර දකුණු කොරියානු ඇමතිවරයා අදහස් දක්වමින්, දෙපාර්ශ්වය මෙම ජනවාරි නව වෙනිදා දෙරට අතර දේශසීමාවේ දී මුණ ගැසිය යුතුව ඇතැයි කියා සිටියේය.
ඇමතිවරයා යෝජනා කරන පරිදි එම සාකච්ඡා පැවැත්වෙන්නේ දේශසීමාවේ පිහිටි 'පන්මුන්ජොම්' (Panmunjom) ගම්මානයේ දීය.
කොරියානු රාජ්‍යයන් දෙකේ නියෝජිතයන් එම ගම්මානයේ දී මෙයින් පෙරත් ඓතිහාසික සාකච්ඡා පවත්වා ඇති අතර යුද විරහිත අධි ආරක්ෂක කලාපයේ එම ගම පිහිටා ඇත.
"සටන් විරාම ගම" (truce village) ලෙස එම ගම්මානයට නමක් ද පටබැඳී ඇත.

කොරියානු රාජ්‍යයන් දෙකේ නියෝජිතයන් අතර අන්තිම සාකච්ඡා 2015 වසරේ පැවැත්වුන අතර ඒ අනුව මෙවර ඔවුන් මුහුණට මුහුණ ලා මුණ ගැසෙන්නේ වසර දෙකකට පසුවය.
උතුරු කොරියානු නායකයා සිය කතාවේ දී සඳහන් කළ පරිදි, ලබන පෙබරවාරි මාසයේ දකුණු කොරියාවේ 'ප්යෝන්ග්චෑන්' (Pyeongchang) ආරම්භ කෙරෙන ඔලිම්පික් හිම ක්‍රීඩා සඳහා උතුරු කොරියානු ක්‍රීඩකයන් සහභාගී කරවීම ඇතුළු කාරණා සමුදායක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වනු ඇත.
දෙරට අතර යුද උණුසුම උත්සන්න වෙමින් පවතිද්දී ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කිරීමේ යෝජනාවක් දකුණු කොරියාව පසුගිය වසරේ ජූලි මාසයේ ඉදිරිපත් කළත් උතුරු කොරියාව විසින් එය බැහැර කරනු ලැබුණි.
ඒ අතරවාරයේ නව වසර ආරම්භ වීමත් සමඟ යළි සාකච්ඡා සඳහා 'ප්යෝන්ග්යෑන්' පාලනයෙන් ලද යෝජනාව පිළිගනිමින් ප්‍රකාශයක් කළ දකුණු කොරියාවේ ජනාධිපති (Moon Jae-in), එම යෝජනාව "දෙරට අතර සබඳතා නංවාලීමට ලද ඉදිරි අවස්ථාවක්" ලෙස විග්‍රහ කළේය.
අද අඟහරුවාදා (ජනවාරි 02) පැවති කැබිනට් රැස්වීමක දී අදහස් දැක්වූ ජනාධිපති මුන් ජෙයින් (Moon Jae-in), ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා සමඟ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ සටහන ද්විතීය මාතෘකාවක් බවට පත්වනු ඇතැයි සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දකුණු කොරියානු යෝජනාව සම්බන්ධයෙන් උතුරු කොරියාව තවමත් ප්‍රතිචාරයක් දක්වා නැති හෙයින් 'ප්යෝන්ග්යෑන්' පාලනය නියෝජනය කරමින් කිසිවකු ඊට සහභාගී වන්නේද? යන්න තවමත් පැහැදිලි නැත.
මේ අතර ප්‍රකාශයක් කරන දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් (Moon Jae-in), උතුරු කොරියානු දූත මණ්ඩලයක් සහභාගී කර ගැනීම සහතික කර ගැනීම සඳහා සිය ඇමතිවරුන් කඩිනමින් කටයුතු කිරීම සිය උවමනාව බව කියා සිටියි.
2015 දෙසැම්බර් මාසයේ දෙපාර්ශ්වය අතර සිදු වූ අවසන් ඉහළ මට්ටමේ සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ අතර එම සාකච්ඡාවල න්‍යාය පත්‍රය පවා ප්‍රකාශයට පත් නොකෙරුණි.
දකුණු කොරියාව 2017 ජූලි මාසයේ යළිත් ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙකක් සඳහා උතුරු කොරියාවට ආරාධනා කළ අතර යුදමය කරුණු සහ කොරියන් යුද්ධයේ දී රටවල් දෙක අතර බෙදී ගිය පවුල් යළි එකමුතු කිරීම අදාළ ප්‍රධාන මාතෘකා විය.
එහෙත් එම යෝජනා පල රහිත වූ අතර උතුරු කොරියාව ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ මිසයිල ප්‍රහාර එල්ල කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මේ අතර මෙවර නව අවුරුදු උදාවත් සමඟ සිදුකළ කතාවේදී කිම් ජොන් අන් දකුණු කොරියාවත් සමඟ සාකච්ඡා සඳහා "තමා විවෘත බව" කියා සිටියත් ඇමෙරිකා එක්සත් ජනපදයට යළිත් තර්ජනය කිරීමට ද එම කතාවේ දී අමතක නොකළේය.
"න්‍යෂ්ටික යුද්ධයේ බොත්තම සිය මේසය මත ඇතැයි" ඔහු ඇමෙරිකාවට දැනුම් දුන්නේ එය තර්ජනයක් කිරීමක් නොවන බව පවසමිනි.
ජාත්‍යන්තර සම්බාධක පැනවීම් සිදු කෙරුණත් ඒවා නොතකා කටයුතු කරන උතුරු කොරියාව, ගත වූ වසර දෙක ඇතුළත සිය න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය මෙන්ම සාම්ප්‍රදායික යුද අවි ශක්තියත් වැඩි දියුණු කර ගෙන ඇත.
කිම් ජොන් අන් සාකච්ඡා සඳහා දකුණු කොරියාවට අත වැනීම යුදමය මාවතේ සිටි ඔහු පියවරක් ආපසු ගැනීමක්ද? එසේත් නැත්නම් එය එක්තරා හැල හැප්පීමක් සහිත දකුණු කොරියානු-ඇමෙරිකානු සබඳතා කරළියට ගැනීමේ ප්‍රයත්නයක් ද? උතුරු කොරියාවේ හදිසි නව එළඹුම එම කරුණු දෙකේම එකතුවක් වියහැකි බව බීබීසියේ ආරක්ෂක සහ රාජ්‍යතාන්ත්‍රික තොරතුරු භාර වාර්තාකරු ජොනතන් මාර්කස් පවසයි.
සබැඳි පුවත්;








