තායිලන්තය: මරණින් වසරකට පසු පැවැත්වෙන හිටපු රජතුමාගේ ආදාහන උත්සවය

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තායිලන්තයේ හිටපු රජු පූමිපොන් අදුන්යදේජ් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බැංකොක් නුවරට පැමිණ සිටියහ.
හමුදා ගෞරව සහ තුර්ය වාදන කණ්ඩායම්වල සංගීත හඬ මැද සංකේතාත්මක අවමංගල්‍ය මංජුසාව රැගත් රථය ආදාහනගාරය වෙත ළඟා විය.
බ්‍රහස්පතින්දා (ඔක් 26) පැවතියේ දින පහකින් සමන්විත අවමංගල්‍ය උත්සවයේ ප්‍රධාන අංගයයි.
සිය රජතුමා වෙත ගෞරව දැක්වීමක් වශයෙන් මාර්ග දෙපස රැස්ව සිටි ජනතාව කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.
තායිලන්ත ජනතාව අතර ගෞරවාදරයට පත්‍ර වූ පූමිපොන අදුන්යදේජ් රජතුමා මෙලොවින් සමුගත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදීය.
මිය යන විට ඔහු 88 වෙනි වියේ පසු විය.
අවමංගල්‍ය උත්සවය රාජකීය මාලිගයේ දී බදාදා නිල වශයෙන් ආරම්භ කෙරුණේ බෞද්ධ ආගමික පිළිවෙත් සහිත පිංකම් උත්සවයකිනි.
අවමංගල්‍ය පෙරහැර ආරම්භ කිරීමට පෙර රාජකීය මාලිගය තුළ දී බෞද්ධ ආගමික වතාවත් මාලාවක් සිදු කෙරිණි.
අදුන්යදේජ් රජුගේ දේහය සහිත රාජකීය චිතකයට ඔහුගේ පුත් වචිරාලොන්ගෝන් රජු විසින් පසුව ගිනි දැල්වීමට නියමිතය.
සංකේතාත්මක මංජුසාව ගෙන යාම සඳහා භාවිත කරන ලද රථය 18 වෙනි ශතවර්ෂයට අයත්ය.
ටොන් 14 බරැති එම රථය ඇදගෙන යනු ලැබුවේ 200 අධික හමුදා භටයන් පිරිසක් විසිනි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, EPA
ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා ලෙස පූමිපොන් අදුන්යදේජ් රජු ඉතිහාසයට එක් වේ.
තායිලන්තය තුළ දැඩි ගෞරවාදරයට පාත්‍රව සිටි ඔහුගේ පාලන කාලය තුළ හමුදා කුමන්ත්‍රණ රැසක් සිදුවිය.
දේශපාලන අධිකාරියට ඉහළින් පෙනී සිටි පීතෘවරයෙකු බඳු චරිතයක් හිමිව සිටි ඔහු දේශපාලන කැළඹීම් සහිත අවස්ථාවන් වල දී ඒවාට මැදිහත්වී කටයුතු කළේය.
තායිලන්ත ව්‍යවස්ථාවට අනුව රාජ්‍යත්වයට හිමිවන්නේ සීමිත බලයක් වුවද බොහෝ තායි ජාතිකයන් අතර ඔහු දේවත්වයෙන් පිදුම් ලැබීය.
සබැඳි යොමු:













