පැරිස් සම්මුතියෙන් ඔබ්බට යෑමට සූදානම් - මෝදි

Indian Prime Minister Narendra Modi (L) is greeted by French President Emmanuel Macron (R) on the last leg of his four-nation visit at the Elysee palace in Paris, France, June 3, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියෙන් "ඉහළට සහ ඔබ්බට" ගොස් ඉන්දියාව කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දෙයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ ඉන්දීය අගමැතිවරයා විසින් පැරිස් සම්මුතිය හඳුන්වනු ලැබුවේ "මහපොළොව ආරක්ෂා කිරීම සඳහා අප සතු වගකීමේ" කොටසක් ලෙසය.

දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනය කෙරෙන ලොව රටවල් අතර ඉන්දියාව තෙවන ස්ථානයේ පසු වේ.

පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ලෝක නායකයන් ගණනාවකගේ විවේචනයට ලක්ව තිබේ.

අදාළ ගිවිසුම හේතුවෙන් ඇමරිකාව දුගීභාවයට පත් වනු ඇති බව කියා සිටි ජනාධිපති ට්‍රම්ප් ඒ හේතුවෙන් ඇමරිකානුවන්ට රැකියා අහිමි වනු ඇති බව සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187 ක් පැරිස් සම්මුතිය ඔස්සේ එකඟ වී සිටියහ.

"විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු"

වීඩියෝ ශීර්ෂ වැකිය, අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු - මැක්‍රෝන්

ඇමරිකානු ජනාධිපතිවරයා පැරිස් සම්මුතියෙන් ඉවත්ව යාමට ගත් තීරණයට තමන් ගරු කරන බව කී ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් " නමුත් මම හිතනවා එය ඒකාන්තයෙන්ම අත්වැරැද්දක් කියා, එක්සත් ජනපදයටත් ලෝකයටත් යන දෙකටම" යනුවෙන් පැවසීය.

පසුගිය 01 වෙනිදා අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණ විපර්යාස මැඩලීම සඳහා වන සටන අත නොහරින බවට ප්‍රංශය සහතික වන බවය.

පැරිස් සම්මුතිය ඉදිරියට ගෙන යාම සඳහා ලොව සෙසු රටවල් සමග එක්ව කටයුතු කරන බවත් ජනාධිපති මැක්‍රෝන් එහිදී සඳහන් කළේය.

ඒ සඳහා කටයුතු කිරීමට උනන්දුවක් දක්වන ඇමරිකානුවන්ට ප්‍රංශයට පැමිණ ඒ සඳහා දායක වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

"අප කොතැනක හිටියත්, අප කවුරු වුනත් අපට එක හා සමාන වගකීමක් පැවරෙනවා . අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු" ජනාධිපති මැක්‍රෝන් වැඩිදුරටත් කියා සිටියේය.