මහ ලේකම් ගුටරෙස් ජනාධිපති ට්‍රම්ප් අමතයි

පැරිස් පරිසර ගිවිසුමට අනුගත වෙමු-මහ ලේකම් ගුටරෙස්
ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිස් පරිසර ගිවිසුමට අනුගත වෙමු-මහ ලේකම් ගුටරෙස්

ලෝක දේශගුණ විපර්යාෂයන් පාලනය කරගනු ලැබීම සඳහා ඇතිකර ගත් පැරිස් පරිසර ප්‍රඥප්තියෙන් ඉවත් නොවන මෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්(Antonio Guterres) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කරයි.

මහලේකම්වරයා එම ඉල්ලීම කළේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් පරිසර ප්‍රඥප්තිය සමඟ රැඳී සිටින්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට සූදානම් වෙමින් සිටින අතරයි.

බීබීසිය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී තව දුරටත් අදහස් දැක්වූ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්, ඇමෙරිකා එක්සත් ජනපදය එම පරිසර ගිවිසුමෙන් ඉවත්ව ගියත් සෙසු සියලු රාජ්‍යයන් ගිවිසුමේ අරමුණු සමඟ බැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

"මේ විපතින් මිහිතලය රැක ගනිමු"
ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ විපතින් මිහිතලය රැක ගනිමු"

පැරිස් පරිසර ප්‍රඥප්තිය මගින් "අපේ දරුවන්ගේ සහ මුනුබුරු මිනිබිරියන්ගේ අනාගතය සහතික කෙරෙන" බවත් මහලේකම් ගුටරෙස් පවසයි.

මේ අතර චීන අගමැති ලී කෙචියාං (Li Keqiang) ප්‍රකාශයක් කරමින්,පැරිස් පරිසර ගිවිසුම අනුව ඇතිකර ගත් එකඟතා අනුව කටයුතු කිරීමට බේජිං පාලනය සැලසුම් කර ඇතැයි කියා සිටියේය.

පැරිස් ගිවිසුමෙන් ඉවත් වෙනවා-ජනාධිපති ට්‍රම්ප්
ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිස් ගිවිසුමෙන් ඉවත් වෙනවා-ජනාධිපති ට්‍රම්ප්