පැරිස් සම්මුතිය 'ලෝක සත්වයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ කාර්යයක්'

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/ Twitter
පසුගිය වර්ෂයේ ප්‍රංශයේ පැරිස් අගනුවරදී ඇතිකරගන්නා ලද පරිසර සම්මුතිය සමස්ත ලෝක සත්වයා වෙනුවෙන් තබන ලද ශ්‍රේෂ්ඨ පියවරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
පැරිස් පරිසර සමුළුවේදී ඇතිකරගත් එකඟතාවය මේ වනවිට රටවල් 65ක පාර්ලිමේන්තු අනුමත කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය මෑත යුගයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රයත්නයක මූලික ප්‍රවේශය ඉතා කෙටි කලක් තුල සාර්ථක වූ අවස්ථාවක් බවත් සඳහන් කළේය.
"බැන් කි මූන් මැතිතුමාගේ නිල කාලය තුල මම හිතන්නේ, ඉතාම ඓතිහාසික, මිනිස්සු විතරක් වෙනුවෙන් නෙවෙයි මුළු මහත් ලෝක සත්වයා වෙනුවෙන්ම ශ්‍රේෂ්ඨ කාර්යයක් සිදුවෙන්නේ," ඔහු පැවසීය.
එය සමස්ත ලෝකයම ලැබූ ජයග්‍රහණයක් බවත් ඔහු පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අදහස් පල කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින් සිටින අතරවාරයේ, නිව් යෝර්ක් නුවරදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින්.
ජනාධිපතිවරයා ඊට පෙරාතුව ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් කැඳවන ලද බෝ නොවන රෝග පිළිබඳ සමුළුව ඇමතූ අතර, ජනාධිපතිවරයා එම සමුළුවට සහභාගී වීම සංවිධායකයන්ගේ අගය කිරීමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම බීබීසී සංදේශයට පැවසීය.
'එකම රාජ්‍ය නායකයා'
තවදුරටත් මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපතිවරයා, පැරිස් සම්මුතිය ඇතුළු ජයග්‍රහණ මත පදනම් වී ලෝකය සුභවාදී ලෙසින් ඉදිරි ගමනක යෙදෙන විට ශ්‍රී ලංකාවද ඒ ගමනට එක් වන බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට වඩා යහපත්, සුභවාදී අනාගතයක් උදාකරගැනීම පිණිස සිය එක්සත් ජනපද සංචාරය මහෝපකාරී වූ බව සඳහන් කළ ඔහු, සිය පළමු සංචාරයේදීටත් වඩා මෙවර නිව් යෝර්ක් නුවරට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරීම පිණිස සිය ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට ලෝක නායකයන්ගේ ප්‍රබල ප්‍රශංසාවක් හිමි වූ බවත් වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/ Twitter
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකාව රට වටා 'තාප්ප ඉදිකරමින්' සමස්ත ලෝකයෙන් හුදෙකලා වී සිටි බව පෙන්වා දුන්නේය.
වර්තමානයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මතය ඉතා සාධනීය මට්ටමකට වෙනස් වී තිබෙන්නේ ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් සිය රජය ගෙන තිබෙන පියවර හේතුවෙන් පමණක් නොවන බවත් විදේශ අමාත්‍යවරයා පැවසීය.
පරිසර අමාත්‍ය පදවිය හොබවන ලොව එකම රාජ්‍ය නායකයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බව සඳහන් කළ මංගල සමරවීර අමාත්‍යවරයා, පරිසරය යනු එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයේත් ඉහලින්ම පවතින විෂයයක් බවත් පෙන්වා දුන්නේය.
නව ආණ්ඩුවේ ගමන් මග හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි ගෞරවයෙන් සලකන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගයන්ත කරුණාතිලක සහ මහින්ද සමරසිංහ අමාත්‍යවරුද මාධ්‍ය හමුව ඇමතූහ.









