ශිෂ්ඨාචාර බිඳ වැටුණ රටවල 'නව පිබිදීමක්'

බරපතල ගැටුම් සහ සිවිල් යුද්ධ හේතුවෙන් සමස්ත සමාජ දේහය බිඳ වැටුණු බොහෝ සමාජවල දැන් යළිත් පිබිදීමක් දක්නට ලැබෙන බව ප්‍රවීන කලාකරුවෙක් පවසයි.
දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින 'ශිෂ්ඨාචාර අර්බුදයෙන්' ගොඩ ඒම පිණිස ශ්‍රී ලංකාවටත් ජාත්‍යන්තරයෙන් බොහෝ අත්දැකීම් උකහා ගත හැකි බවත් කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සඳහන් කළේය.
විශේෂයෙන්ම මෑතදී ගැටුම්වලට මුහුණ දුන් යුක්රේනය සහ ශ්‍රී ලංකාව අතර බොහෝ සමානතා දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළේ පසුගියදා ස්කොට්ලන්තයේ පැවති වාර්ෂික සංස්කෘතික වැඩමුළුවකට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදුනු අවස්ථාවේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
"අපි පශ්චාත් යටත් විජිත රටක්. දැන් සෝවියට් දේශය දිහා බැලුවහම ඒකෙත් තිබුන නිලධාරිවාදය නැත්නම් බලය සංකේන්ද්‍ර වෙච්ච ආයතන බිඳවැටීමත් පශ්චාත් යටත් විජිතවාදයක් වගේ එකක් තමයි," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)
"හැබැයි අපිට වඩා වෙනස සෝවියට් යුගයේ හොඳ, නරක, ජයග්‍රහණ, පරාජයන් ඔක්කොම තිබුණ සංකීර්ණ දෙයක්," එදා සහ අද යුක්රේනයේ තත්වය පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ සමඟ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සංසන්දනයක යෙදුනේ එලෙසින්.

"අර විසිකරන කොට වතුර බේසමත් එක්ක දරුවත් විසි කළා වගේ වැඩක් වෙලා තියෙන්නේ ඒ රටවල්වල."
එහි ප්‍රතිඵලයක් ලෙසින් සාමූහික විඥානය වැනි දියුණු තත්වයන් බිඳ වැටී, පුද්ගලවාදය සහ ආත්මාර්ත්කාමය ඉස්මතු වූ නමුත් පැරණි ජයග්‍රහණවල මතකයන් තවමත් ජන විඥානයේ රැදී පවතින බවයි, ශ්‍රී ලංකාවට ජාතික කළා සහ සංස්කෘතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ ප්‍රයත්නයක යෙදී සිටින ප්‍රවීන කලාකරුවා පවසන්නේ.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන තවදුරටත් විග්‍රහයක යෙදුනේ යුක්රේනයේ මෙන්ම ස්කොට්ලන්තයේ, අයර්ලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ නව ප්‍රවණතා උදාහරණ ලෙසින් දක්වමින්.
"දැන් අයර්ලන්තය ශ්‍රී ලංකාව වගේම අත්දැකීම්වලට මුහුණ දීපු රටක්. ඔවුන් දැන් කලාව සංස්කෘතික ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා උනන්දුවක් දක්වනවා," ඔහු පැවසීය.

"දකුණු අප්‍රිකාවේ පුරවැසියෝ සහ රජයේ නියෝජිතයන් මම මුණ ගැහුනා. ඒ රටෙත් මෙවැනි ක්‍රියාදාමයක් සිදු වෙනවා. විශේෂයෙන්ම පශ්චාත් යුද වාර්තාකරණය තුළ මෙම ක්‍රියාදාමයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුවුණා."
විශේෂයෙන්ම ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විශ්වාස කරන පරිදි ලොව අනාගතය සකස් කිරීම උදෙසා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබෙන්නේ කලාව සහ සංස්කෘතිය බවත් ඔහු පැවසීය.
ඒ සඳහා ඒ බොහෝ රටවල ආණ්ඩු සක්‍රීය දායකත්වයක් සපයමින් සිටින බවත් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වැඩිදුරටත් පැවසීය.








