ලාංකීය කලාවේ 'අනාගතය අඳුරුයි'

ශ්‍රී ලාංකීය කලාවේ බිඳ වැටීම වැළැක්වීමට බලධාරීන් ඉක්මනින් නිසි පියවර නොගන්නේ නම් කලාව බිඳ වැටීම වැළැක්විය නොහැකි බව ප්‍රවීන කලාකරු යුවලක් පවසති.

ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද සුනිල් එදිරිසිංහ ඒ බව සඳහන් කළේ විදේශයකදී පළමුවරට යුගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීම පිණිස ලන්ඩනයේ සංචාරයක නිරතව සිතන අතරවාරයේ බීබීසී සංදේශය මැදිරියට ගොඩ වූ අවස්ථාවේ.

" මගේ පෞද්ගලික අදහස නම් ඔබේ ප්‍රකාශය හරි," යනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායක සඳහන් කළේ සිය දීර්ඝ සංවාදය නිමා කිරීමට සිදුවන්නේ ලාංකීය කලාවේ අනාගතය දෙස අසුභවාදී බැල්මක් හෙලමින්දැයි බීබීසී යේ සරෝජ් පතිරණ කළ විමසීමට පිළිතුරු දෙමින්.

'උතුරු දකුණු පාලමක්?'

"ලෝකේ දැන් යන හැටියට නම් අපි බලන කෝණයෙන්, බොහෝ වෙලාවට මුදල් පසුපස හඹා යන ලෝකයක් නේ අපිට තියෙන්නේ. බොහෝ වෙලාවට ඔය නාලිකාවල කෙරෙන්නෙත් ඒකනේ. ඉතින් බලාපොරොත්තු තැබීමේ දුෂ්කරතාවයක් තියෙනව," යන්නයි ඒ ප්‍රශ්නයට විශාරද සුනිල් එදිරිසිංහ ගේ ප්‍රතිචාරය වූයේ.

'බොහෝ වෙලාවට මුදල් පසුපස හඹා යන ලෝකයක් නේ අපිට තියෙන්නේ. බොහෝ වෙලාවට ඔය නාලිකාවල කෙරෙන්නෙත් ඒකනේ'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බොහෝ වෙලාවට මුදල් පසුපස හඹා යන ලෝකයක් නේ අපිට තියෙන්නේ. බොහෝ වෙලාවට ඔය නාලිකාවල කෙරෙන්නෙත් ඒකනේ'

දශක ගණනාවක යුද ගැටුම් හමාරයේ උතුරේත්, දකුණේත් ජනතාව අතර සංහිඳියාව යළි ඇතිකිරීම් වස් කලාකරුවන්ට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ හැකි බව ගායකයන් දෙදෙනාම පිළිගත්හ.

1983 ට පෙර ආචාර්ය වික්ටර් රත්නායක සිය 'ස' ප්‍රසංගය යාපනයේත් පැවැත්වූ බව පෙන්වා දුන් විශාරද සුනිල් එදිරිසිංහ, අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එදා පැවති සංහිඳියාව යළි ඇතිකිරීම එතරම් අපහසු කාර්යයක් නොවන බව සඳහන් කළේය.

"ඒකනේ රවීන්ද්‍රනාත් තාගෝර් තුමා කිවුවේ 'පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලිවලට නොබෙදී, ඥානය නිවහල් වී' ... බියෙන් තොරව හිස කෙලින් තබා ගත හැක්කේ එතකොටයි," සුනිල් එදිරිසිංහ වැඩිදුරටත් පැවසීය.

ලාංකීය කලාවේ ප්‍රවර්ධනය පිණිස දැනට වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ අවශ්‍යතාවයද ගායකයන් දෙදෙනා අවධාරණය කළහ.

ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද සුනිල් එදිරිසිංහ සමඟ සාකච්ඡාවේ අවසාන කොටසයි, මේ.