'ලාංකීය ගුණ රුව සුවදින් යුත් අනන්‍යතාවක් '

ශ්‍රී ලාංකීය ''ගුණ රුව සුවදින්'' යුත් ලාංකීය අනන්‍යතාව තහවුරු කෙරෙන නිර්මාණ කලාවකට තරුණ පරපුර යොමු විය යුතු බව ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක පවසයි.

අපේකමින් පළා ගොස් නව තාක්ෂණික මෙවලම් භාවිතයෙන් නිර්මාණකරණයේ යෙදීම නිසා වඩාත් අලංකාර නිර්මාණ බිහි කිරීමට වර්තමාන තරුණ පරපුර අසමත් වී ඇති බවත් ආචාර්ය වික්ටර් රත්නායක සඳහන් කළේය.

ඔහු ඒ බව කියා සිටියේ විශාරද සුනිල් එදිරිසිංහ හා එක්ව ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

පාරම්පරික සාහිත්‍ය කලා

ශ්‍රී ලාංකික පාරම්පරික සාහිත්‍ය කලා අංශවල ලක්ෂණවලින් ඈත් වීගෙන යන සමාජයක් වර්තමානයේ බිහි වෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ එෆ්එම් නාලිකාවලට චෝදනා එල්ල කරමින් ඔහු කියා සිටියේ සිය ජනප්‍රියතාව රඳා පවත්වා ගැනීම සඳහාම පමණක් එම ආයතන කටයුතු කරන බවයි.

ශ්‍රී ලාංකීය කලාව, භාෂාව සහ ගුණ ධර්ම ඔප නැංවීමක් එම නාලිකාවලින් සිදුවන බවක් පෙනෙන්නට නොමැති බවත් ආචාර්ය වික්ටර් රත්නායක පෙන්වා දෙයි.

මේ තත්වය අවම කර ගැනීම සඳහා රජයේ මැදිහත් වීමක් අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.

සුභාවිත ගීතයේ වැදගත්කම පෙන්වා දෙන විශාරද සුනිල් එදිරිසිංහ ශ්‍රී ලාංකීය ගී ආර වර්තමානයේ මුහුණ දී ඇති තත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කියා සිටියේය.

මෙම සාකච්ඡාවේ දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.