'සංහිඳියාව අමතක කළ' ලාංකීය කලා නිර්මාණ

ගුවන් විදුලි විශේෂාංගය සහ සටහන: හැරල් ගමාච්චි

සිනමාව, ගීත නිර්මාණ ඇතුළු වෙනත් කලා කටයුතු කෙරෙහි පැවති ආණ්ඩුවේ බලපෑම් නිසා ආණ්ඩුවේ වුවමනාවන්ට අනුව කලා කෘති රැසක් පසුගිය කාලය පුරා බිහි වූ බව ප්‍රවීන ගීත රචක නිලාර් එන් කාසිම් පවසයි.

මේ හේතුව නිසා ජාතික සමගිය ගොඩ නැංවීම යන වැදගත් මාතෘකාව කලාකරුවන් අතින් ගිලිහී ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික සමගිය බිහි කිරීම අරමුණු කර ගනිමින් සමාජයේ යථා ස්වභාවය විනිවිද පෙන්වීම සඳහාත් උත්සාහ ගත් සීමිත කලාකරුවන් පිරිසට ද පැවති ආණ්ඩුවේ බලපෑම් දිගින් දිගටම එල්ල වූ බවයි ඔහු පවසන්නේ.

බෙදුම්වාදී යුද ගැටුම අවසන් කිරීමට ආරක්ෂක අංශ සමත් වුවද , උතුරේ සහ දකුණේ ජනතාවගේ හදවත් තුලට සහජීවනය සහ සමානාත්මතාව දැනවීම වෙනුවෙන් නිර්මාණාත්මක කලා කටයුතු කිසිවක් සිදුනොවීම පසුගිය කාලය පුරා දක්නට ලැබීම කණගාටුවට කරුණක් බවයි නිලාර් එන් කාසිම් කියා සිටියේ.

කලාකරුවන්ගේ වගකීම

යුද ජයග්‍රහණයෙන් පසුව පැවති ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සවි බල ගැන්වීම සඳහා බොහෝ කලාකරුවන් සිංහල ජාතිකත්වය උද්දීපනය කිරීමට අතීත වීර කතා සිනමා කෘති බවට පත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු බව පෙන්වා දුන් නිලාර් එම නිර්මාණ දකුණේ සමාජය තුල ප්‍රචලිත කිරීම සඳහා රජයේ නොමද අනුග්‍රහය හිමි වූ බවද පවසයි.

මහ රජ ගැමුණු චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ජයන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, එවැනි නිර්මාණ තමන් විසින් නිර්මාණාත්මක ව ඉදිරිපත් කරනු ලැබුවේ දුටුගැමුණු චරිතය පිළිබඳ නව ඇසකින් බැලීමට හුරු කිරීම සඳහා බවයි.

දුටුගැමුණු චරිතය තුලින් දෙමළ ජනතා විරෝධී බවක් නිර්මාණය වී තිබුණද , තමන්ගේ උත්සාහය වූයේ එම චිත්‍රය වෙනස් කිරීම බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදය නිමා වී සය වසරක් ගෙවී ඇති ලාංකික සමාජය තුල ජාතික සමගිය ගොඩ නැංවීම දේශපාලනඥයන්ගේ , විද්වතුන්ගේ , කලාකරුවන්ගේ ඇතුළු මහජනතාවගේ වගකීමක් බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රවීන ගීත රචක නිලාර් එන් කාසිම් මෙම සංවාදයේ දී වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රස්තවාදය පරාජය කොට ගෙවුනු සය වසර තුලදී අනෙකුත් පාර්ශව මෙන්ම කලාකරුවන් අතින්ද ජාතික සමගිය ගොඩ නැංවීම අරමුණු කර ගත් වැඩපිළිවෙළක් නොතිබීම සංහිඳියාව සහ සහෝදරත්වය පිළිබඳ රට හමුවේ තිබූ බලාපොරොත්තුව දුරස් වීමක් බවයි.

කලාකරුවන්ගේ වගකීම වන්නේ යුද උත්කර්ෂය ගොඩ නංවා සමාජය බේධ බින්න කිරීම නොව මුළු මහත් සමාජය තුලම මනුෂ්‍යත්වය ගොඩ නැංවීම බවයි නිලාර් එන් කාසිම් සඳහන් කළේ.

එම වගකීමෙන් කලාකරුවන්ට කිසිදු අයුරකින් වියුක්ත විය නොහැකි බව අවධාරණය කළ ඔහු කලාකරුවන් අතින් එම වගකීම ගිලිහෙන්නේ නම් ලාංකික සමාජය යලිත් ම්ලේච්ඡත්වයට යොමු වීමට ඉඩකඩක් පවතින බව පෙන්වා දෙයි.