දෙමළ සිරකරුවන් විශේෂ අධිකරණයක් ඉදිරියට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිංහල ජාතිවාදී කොටස් සතුටු කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇති බවට එන් සත්‍යවේල් පියතුමා චෝදනා කරති

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිංහල ජාතිවාදී කොටස් සතුටු කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇති බවට එන් සත්‍යවේල් පියතුමා චෝදනා කරති

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවේ තබා සිටින දෙමළ සිරකරුවන් 17 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට තීරණය කොට ඇති බව ත්‍රස්ත මර්දන කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ දන්වා සිටියේ රැඳවුම් භාරයේ පසු වන දමිළ සිරකරුවන්ගේ නඩු විභාග කඩිනම් කරනු වස් පසුගියදා ස්ථාපිත කරනු ලැබූ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අදාළ සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙම ක්‍රියාමාර්ගය හෙලා දකින දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ එන් සත්‍යවේල් පියතුමා, නිදහස අපේක්ෂා කළ සිරකරුවන් මේ තුලින් රැවටීමකට ලක්ව ඇති බවයි කියා සිටියේ.

මේ අතර මැගසින් බන්ධනාගාරයේ දින දහයක් තිස්සේ උපවාසයේ නිරතව සිටින දමිළ සිරකරුවන් දෙදෙනාගේ සෞඛ්‍යය තත්වය අයහපත් අතට හැරී ඇති බවත් පියතුමා පවසයි.

පොලිසිය විසින් සටහන් කර ගනු ලැබූ එක් ප්‍රකාශයක් පදනම් කොට ගෙන නඩු දෙකක් පැවරීම අසාධාරණ බව පවසමින් ඔවුන් මෙම උපවාසය අරඹා ඇති බවයි එතුමා සඳහන් කළේ.

උපවාසයේ නිරත ඉහත කී රැඳවියන්ගේ දුක්ගැනවිල්ල දෙස දෙමළ දේශපාලකයින් හෝ වගකිවයුත්තන් නිසි අවධානය යොමු කර නොමැති බවටත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ එන් සත්‍යවේල් පියතුමා චෝදනා කරයි.