දේශපාලන සිරකරුවන් 'වහාම නිදහස් කරන්න'

එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් වැදුණු 12,000 කට ආසන්න පිරිසක් නිදහස් කළේ නම්, මේ පිරිස නිදහස් කළ නොහැක්කේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් වැදුණු 12,000 කට ආසන්න පිරිසක් නිදහස් කළේ නම්, මේ පිරිස නිදහස් කළ නොහැක්කේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි

දෙමළ ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ ප්‍රකාර දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා වහාම නිදහස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

ඔවුන් නිදහස් කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව තම පක්ෂයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් පොරොන්දු වී ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී සංදේශයට කියා සිටියේ.

එම ප්‍රතිඥාව ඉටු නොකරන්නේ නම් දැඩි පියවර ගැනීමට තමන් සූදානම් බවත් ඔහු අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන් 223 දෙනකු රටපුරා බන්ධනාගාරවල සඳුදා ආරම්භ කළ උපවාසය පිළිබඳව බීබීසී ය සමඟ අදහස් දක්වමින්.

මේ නඩු තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ පනතම අහෝසි කරනවා කියල දැන් ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයේදී පොරොන්දුවක් දී තියෙනවා - සුමන්දිරන් මන්ත්‍රීවරයා (වමේ)
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ නඩු තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ පනතම අහෝසි කරනවා කියල දැන් ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයේදී පොරොන්දුවක් දී තියෙනවා - සුමන්දිරන් මන්ත්‍රීවරයා (වමේ)

"මේ නඩු තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ පනතම අහෝසි කරනවා කියල දැන් ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයේදී පොරොන්දුවක් දී තියෙනවා," මන්ත්‍රීවරයා සඳහන් කළේ ඇතැම් සිරකරුවන්ට නඩු පවරා හෝ නොමැති වාතාවරණයක් තුල ඔවුන් නිදහස් කරන්නේ කෙසේ දැයි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකට පිළිතුරු දෙමින්.

"ඒ නිසා ඒක අහෝසි කරන්න ඉස්සෙල්ල ඒ පනත යටතේ තියාගෙන ඉන්න සැකකරුවන්ව සමාව දීල නිදහස් කරන්න ඕනේ."

එම ප්‍රතිඥාව ඉටු කරන මෙන් තමන් යලිත් වරක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

යුද්ධයේ අවසාන භාගයේදී එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් වැදුණු 12,000 කට ආසන්න පිරිසක් පුනරුත්තාපනය කොට නිදහස් කළේ නම්, කලක් මුළුල්ලේ රඳවාගෙන සිටි මේ පිරිස නිදහස් කළ නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

දෙමළ දේශපාලන සිරකරුවන් 223 දෙනකු රටපුරා බන්ධනාගාරවල සඳුදා සිට උපවාසයක

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමළ දේශපාලන සිරකරුවන් 223 දෙනකු රටපුරා බන්ධනාගාරවල සඳුදා සිට උපවාසයක

ඔවුන් නිදහස් කරන මෙන් මීට ඉහතදී තමන් කළ ඉල්ලීමට ආණ්ඩුව එකඟත්වය පළ කළ බව පවසන එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා, සැකකරුවන් 273 දෙනකු රඳවාගෙන සිටින බව තමන්ට දැනුම්දෙනු ලැබුවේ ඉන් අනතුරුව බවත් සඳහන් කළේය.

"දැන් දවස් දෙකක් තුනක් ඇතුලත අවසාන තීන්දුවක් රජය මගින් ගත්තේ නැත්නම් අපිත් මේක ගැන දැඩි පියවර ගන්න ඉන්නවා."

සිරකරුවන්ගේ උපවාසයට සමගාමීව ජනාධිපතිවරයාට ලිපියක් යවන උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ඔවුන් වහාම නිදහස් කරන මෙන් ඉල්ලීමක් කර තිබේ.