තුන් සීයක් දේශපාලන සිරකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, AFP
කොළඹ නව මැගසින් බන්ධනාගාරය සහ බූස්ස කඳවුරු ඇතුළු ස්ථාන කීපයක දේශපාලන සිරකරුවන් සිය ගණනක් තවමත් රඳවා තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පවසයි.
එය ශ්‍රී ලංකාවේ ශාප ලත් තිස් අවුරුදු සිවිල් යුද්ධයේ ප්‍රතිවිපාකයක් වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
පෙරටුගාමී පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර ඉහත කී අදහස් පළ කළේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවකින් පසුවයි.
කොටි සංවිධානයේ සාමාජිකයන් යයි පවසමින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරනු ලැබීම හෝ නඩු පැවරීමකින් තොරව වසර විස්සකට ආසන්න කාලයක් ඉහත කී කණ්ඩායම සිර කර තබා සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

එම සැකකරුවන් ‘දේශපාලන ප්‍රශ්නයක්’ නිසා අත්අඩංගුවට ගනු ලැබ සිරගත කර සිටින හෙයින් ඔවුන් දේශපාලන සිරකරුවන් වන බවයි අජිත් කුමාර මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
සම අයිතිය ව්‍යාපාරය
ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇතත් ඉහත කී ආකාරයේ දේශපාලන සිරකරුවන් සිය ගණනක් බන්ධනාගාර තුළ තවමත් සිටින බව ඔවුන් නිදහස් කර ගැනීම සඳහා පිහිටුවන ලද ‘සම අයිතිය ව්‍යාපාරය’ පෙන්වා දෙයි.
සිර භාරයේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර ‘කොටි සංවිධානයේ සාමාජිකයන් යයි සැක කරමින් රඳවා තබා සිටින තුන්සීයක් පමණ පුද්ගලයන් අතර කිසිදු LTTE නායකයකු හෝ අණ දුන් මට්ටමේ කිසිවකු නැති අතර අත්අඩංගුවේ පසු වන්නන් කොටි සංවිධානයට සුළු උදව්වක් දුන් හෝ ඇතැම් විට එම සංවිධානය සමඟ කිසිදු සම්බන්ධයක් නොවූ පුද්ගලයන් වන බවයි’ කියා සිටින්නේ.
යහ පාලනයේ පොරොන්දු

කලින් බලයේ සිටි මහිද රාජපක්ෂ පාලන යටතේ එම දේශපාලන සිරකරුවන් දැඩි පීඩාවන්ට ලක් වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
දැන් බලයේ සිටින ‘මෛත්‍රී - රනිල් පාලනය’ මේ සිරකරුවන් වෙනුවෙන් විශේෂ අධිකරණ පිහිටුවන බවට දේශපාලන පොරොන්දුවක් දුන්නා. නමුත් අද එය පුස්සක් බවට පත් වී තිබෙනවා’ අජිත් කුමාර මන්ත්‍රීවරයා නව ආණ්ඩුවත් ඉහත කී සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත දෝෂ දර්ශනයට ලක් කරයි.
නව මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් ඔවුන් පත්ව සිටින ඉරණම සම්බන්ධයෙන් ඉතා ශෝචනීය දුක් ගැනවිලි තමාට යොමු කළ බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර, එම කණ්ඩායම මුදා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් පෙරට ගෙන යන බවත් කියා සිටියි.








