නිදහස ඉල්ලා දෙමළ දේශපාලන සිරකරුවෝ උපවාසයක

ඡායාරූප මූලාශ්‍රය, Getty
- Author, දියසේන රතුගමගේ
- Role, වව්නියාවේ සිට
දෙමළ දේශපාලන සිරකරුවෝ 223 දෙනෙක් තමාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කරති.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 35 ක්ද,මැග්සින් බන්ධනාගාරයේ 160 ක්ද,බෝගම්බර 15ක්ද,යාපනයේ 03ක්ද,වැලිකඩ කාන්තා සිරකාරියන් 10ක්ද සඳුදා සිට උපවාසයේ යෙදෙන බවයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පවසන්නේ.
මේ අතර දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස් ලබා දීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි ආකාරය සඳහන් ලිපියක් උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යවා තිබේ.
එම ලිපිය ඔස්සේ ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ වසර ගණනක සිට ඉතා දුක්ඛිත තත්ත්වයකින් කල් ගෙවන මෙම පිරිස නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසයි.
ප්‍රධාන කාරණා හතක් ඔස්සේ කරුණු ඉදිරිපත් කරන ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රඳවා ගෙන සිටින පිරිස් විසින් සිදු කොට ඇති වරදේ ස්වභාවය මත ලැයිස්තුවක් සකස් කළ යුතු බවයි.
'යෝජනා'

ඡායාරූප මූලාශ්‍රය, Getty
මේ කාරණාව ඉටු කිරීමට සතියක කාලයක් සෑහෙන බවත් ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබේ.
ඉතා සුළු වැරදි මත අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් මුළුල්ලේ රඳවා ගෙන සිටින සැකකරුවන් ඇප මත නිදහස් කොට ඔවුන්ට එරෙහිව යම් නඩු විභාගයක් ආරම්භ කරන ලෙසද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සුළු වැරදි කළ පිරිස ඇප මත නිදහස් කොට පසුව නඩු ඇසීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බවටත් ප්‍රධාන අමාත්‍යවරයා ලිපිය ඔස්සේ යෝජනා කරයි.
අත්අඩංගුවේ පසු වන පිරිසට යම් චෝදනාවක් වේ නම් ඔවුන්ට චෝදනා පත්‍රයක් භාර දීමට ක්‍රියා කොට එකී චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන මෙන්ද ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
වරද පිළිගත් බව සඳහන් කරමින් ඒ මත බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පෙන්වා දෙන ප්‍රධාන අමාත්‍යවරයා එම පිරිස් ඉතා දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටීම ජාත්‍යන්තර මෙන්ම දේශීය අධිකරණ ක්‍රියාදාමයටද පටහැණි බවත් ඒ හරහා මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ලිපිය මගින් පෙන්වා දී තිබේ.
අධිකරණ සේවා කොමිසම මගින් විනිසුරුවරයන්ට විශේෂ බලතල ලබාදී මෙම දේශපාලන සිරකරුවන් විසින් සිදු කොට ඇති වැරදි සම්බන්ධයෙන් කඩිනමින් නඩු විභාග කොට ඔවුන්ට දඬුවම් කිරීම හෝ නිදහස් කිරීම සිදු කරන මෙන්ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.








