‘දමිළ රැඳවියන්;මිනිස් අයිතීන් කඩ කිරීමක්’

ඡායාරූප මූලාශ්‍රය, AFP
ත්‍රස්තවාදය වැළක්වීමේ නීතිය යටතේ සිරභාරයේ තබා සිටින දෙසීයකට අධික දමිළ සිරකරුවන්ගේ තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බලවත් කණස්සල්ල පළ කරයි.
එම රැඳවියන්ගෙන් වැඩි දෙනා බෙදුම්වාදී දමිළ කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැක කරමිනුයි අත්අඩංගුවට ගනු ලැබ සිටින්නේ.
ත්‍රස්තවාදය වැළක්වීමේ නීතිය යටතේ සිර භාරයේ තබා සිටින දමිළ රැඳවියන්ගේ මිනිස් අයිතිවාසිකම් අහිමි වීම සම්බන්ධයෙන් සිය බලවත් කනස්සල්ල නීතිපතිවරයාට දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ.
එසේම චෝදනා ඉදිරිපත් කොට නඩු පවරනු ලැබීමෙන් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගෙන සිටින පුද්ගලයන් වහාම නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටියි.
බොහෝ සැකකරුවන්ට ඇප ලබා දීමට හෝ ඔවුන්ට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට පියවර ගත හැකි බවත් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

සියලු දමිළ සිරකරුවන් මුදා හරින ලෙස සටහනක් ලියා තැබූ යාපනය ප්‍රදේශයේ දමිළ පාසල් ශිෂ්‍යයෙක් බ්‍රහස්පතින්දා ධාවනය වෙමින් තිබුණ දුම්රියකට පැන සිය දිවි හානිකර ගත් අතර ඉදිරි කාලයෙහි එවැනි තවත් අපරාධ සිදුවීම වැලැක්වීම සඳහා සියලු දමිළ සිරකරුවන් මුදා හරින මෙන් ඉල්ලා සිටිමින් උතුරු සහ නැගෙනහිර පලාත්වල මහජන උද්ඝෝෂණ දියත් කෙරෙමින් පැවතුනි.
ශ්‍රී ලංකාවේ සිංහල සමාජයේ වැඩි දෙනා ඉහත කී දමිළ රැඳවියන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස සලකන බව පවසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, එසේ වුවත් එම සැකකරුවන් මෙතරම් දීර්ඝ කාලයක් නඩු පවරනු ලැබීමකින් තොරව රඳවා තබනු ලැබීම ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බවත් කියා සිටියි.




