බීබීසී යේ 2015 වසරේ කාන්තාවන් සිය දෙනා

'සියයක් කාන්තාවෝ; ලොවින් අඩක් ඔබ අමතයි'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'සියයක් කාන්තාවෝ; ලොවින් අඩක් ඔබ අමතයි'

මේ වසරේ ලොව පුරා රටවල් ගණනාවක වෙසෙන ආදර්ශමත් කාන්තාවන් සිය දෙනකු බීබීසී ය විසින් තෝරා ගනු ලැබ තිබේ.

බීබීසී යේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති විකාශනවලදී කාන්තාවන්ට දැනට වඩා වැඩි නියෝජනයක් ලබාදීමේ අරමුණින් දියත් කරන ලද 'වසරේ කාන්තාවෝ සිය දෙනා' විශේෂාංගයේ තුන්වෙනි වාර්ෂික සමරුවයි මෙවර පැවැත්වෙන්නේ.

ඔස්කාර් සම්මානලාභී හිලරි ස්වැන්ක් (Hilary Swank) සහ සුඩානයේ සුපිරි මෝස්‌තර නිරූපිකාවක වන ඇලෙක් වෙක් (Alek Wek) මේ වසරේ කාන්තාවන් සිය දෙනාට ඇතුලත් වෙති.

තිස් වැනි විය පවා නොසැපිරූ ඉහල පෙලේ ව්‍යාපාරික තරුණියන් සහ අසූ වැනි වියද පසු කළ දිරිය කාන්තාවනුත් 'වසරේ කාන්තාවන් සිය දෙනා' ට ඇතුලත් වේ.

යුද පෙරමුණේ සේවය කරන හෙදියන්, සිය ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ අපේක්ෂා රිදී තිරයට නගන තරුණ සිනමා ශිල්පිනියන් මෙන්ම විද්‍යා, දේශපාලන, අධ්‍යාපන සහ කලා ක්ෂේත්‍රවල ප්‍රමුඛස්ථානයක් දරන කාන්තාවන්ද මේ වසරේ වැඩසටහනට ඇතුලත්.

'සියයක් කාන්තාවෝ; ලොවින් අඩක් ඔබ අමතයි'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'සියයක් කාන්තාවෝ; ලොවින් අඩක් ඔබ අමතයි'

උදාහරණයක් ලෙසින් ආජන්ටිනාවේ ක්‍රියාධාරිනියක වන 84 හැවිරිදි එස්තෙලා දි කාර්ලොතෝ, 70ව දශකයේදී මිලිටරි ජුන්ටාව විසින් පැහැරගත් බිළිඳුන් යළි ඔවුන්ගේ දෙමාපියන්ට භාරදීමේ උත්සාහයක යෙදී සිටින්නියක්.

එදා පැහැර ගන්නා ලද සිය මුණුපුරා ඇයට හමුවුණේ පසුගිය වසරේදී.

එයින් පරම්පරා දෙකකින් බාල ජර්මානු ව්‍යාපාරික තරුණියක වන 25 හැවිරිදි අන්තෝනියා ඇල්බට්, වැඩිහිටි සුබසාධනය වෙනුවෙන් අන්තර්ජාල වෙළඳපොළක් නිර්මාණය කළ තැනැත්තියක්.

බීබීසී යේ 'වසරේ කාන්තාවන් සිය දෙනා' විශේෂාංග නොවැම්බර් 18 වැනි දින සිට සති දෙකක් මුළුල්ලේ රූපවාහිනිය, ගුවන් විදුලිය සහ අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කෙරේ.

ලොව භයානකම බන්ධනාගාර ලෙස සැලකෙන වෙනිසියුලාවේ සිරකරුවන් හමුවීමට යන කන්‍යා සොහොයුරියක් සහ 'අනවශ්‍ය' හෙවත් 'නකුෂා' ලෙසින් නම් කෙරෙන බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලද දැරියන්ද මෙවර වැඩසටහනට ඇතුලත්.

ඇල්බේනියාව, කොසොවෝ, සැමෝවා, ෆීජි දූපත් සහ ලන්ඩනයේ බීබීසී මූලස්ථානය ඇතුළු ලොව පුරා ස්ථාන සියයකදී සම්පූර්ණ දිනක් පුරා පැවැත්වෙන සංවාද මාලාවකිනුයි ලබන දෙසැම්බර් දෙවැනි දින මේ වැඩසටහන නිමාවට පත්වෙන්නේ.

#100Women හෑෂ්ටෑගය යොදාගනිමින් ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඔබටත් ඒ සංවාදයට එක්විය හැකියි.