ජනපතිවරණයේදී ඡන්දය දුන්නේ 'මෛත්‍රීට නොවේ'

"යහපාලනය රටේ පවතින්න ඕනේ නම් මහින්ද රාජපක්ෂ මහත්තයට ඉඩක් නැහැ"

ඡායාරූප මූලාශ්‍රය, mano ganesan

ඡායාරූප ශීර්ෂ වැකිය, "යහපාලනය රටේ පවතින්න ඕනේ නම් මහින්ද රාජපක්ෂ මහත්තයට ඉඩක් නැහැ"

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ඡන්දායකයන් ලක්ෂ 62 ක් සිය ඡන්දය භාවිත කළේ එවකට පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නොවන බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

"එතුමාට සහාය ලබා දෙන්න ඡන්දේ දුන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිවයි දුන්නේ," බවයි සන්ධානයේ නායක මනෝ ගනේෂන් බීබීසී සංදේශයට කියා සිටියේ.

හිටපු ජනපතිවරයා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බැවින් මහ මැතිවරණයේදී යළිත් ප්‍රධාන සාධකය බවට පත්වෙන්නේ ඔහු බවයි, මනෝ ගනේෂන් පවසන්නේ.

'පරාජය කරනවා'

"මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙතන ලොකු සාධකයක් නෑ දැන්," ඔහු පැවසීය.

සුළු ජනතාවගේ ඡන්දයෙන් නොව සිංහල බහුතර ජනතාවගේ ඡන්දයෙන් එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන බව ඔහු අවධාරණය කරයි.

"මහින්ද රාජපක්ෂ නැවත අගමැති වුනා නම් එතුමාගේ 'හිට් ලිස්ට්' එකේ මම තමයි පළවෙනියට ඉන්නේ කියල ජනාධිපතිතුමා මට කිවුවා"

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "මහින්ද රාජපක්ෂ නැවත අගමැති වුනා නම් එතුමාගේ 'හිට් ලිස්ට්' එකේ මම තමයි පළවෙනියට ඉන්නේ කියල ජනාධිපතිතුමා මට කිවුවා"

"යහපාලනය රටේ පවතින්න ඕනේ නම් මහින්ද රාජපක්ෂ මහත්තයට ඉඩක් නැහැ."

දමිල ප්‍රගතිශීලී සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය නොදෙන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එම ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ජනාධිපතිවරයා බවයි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සිය සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා තමන්ට සහතික වූ බවයි ඔහු පවසන්නේ.

'හිට් ලිස්ට් එක'

"මොකද එතුමා(මහින්ද රාජපක්ෂ) නැවත අගමැති වුනා නම් එතුමාගේ 'හිට් ලිස්ට්' එකේ මම තමයි පළවෙනියට ඉන්නේ කියල එතුමා (මෛත්‍රීපාල සිරිසේන) මටම කිවුව," දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නායකයා පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ජනාධිපතිවරයාට බලයක් නොමැති වීම හේතුවෙන් හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබාදීමට ඔහුට බල කෙරුණු හැඩක් බවක් පෙනී යන බව මනෝ ගනේෂන් වැඩිදුරටත් සංදේශයට කියා සිටියේය.

ඒ පිළිබඳව නාම යෝජනා භාරදීම අවසන් වීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරන බව ජනපතිවරයා සිවිල් සංවිධාන නියෝජිතයන්ට දැනුම් දී තිබේ.