මෛත්‍රී නිර්පාක්ෂික වීම 'අභියෝගයක් නොවේ'

- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයෙන් ඉල්ලා අස් වී මහ මැතිවරණයේ දී නිර්පාක්ෂිකව සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙන හැඩක් පෙනී යන බව සන්ධාන මැතිවරණ ක්‍රියාකාරී කමිටුවේ සාමාජික මනූෂ නානායක්කාර හිටපු මන්ත්‍රීවරයා පවසයි.
"හෙට දවසේදී සමහර වෙලාවට සමහර නායකයෝ තම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න පුළුවන්. නිර්පාක්ෂික වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනයි කියල මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා එකතුවෙලා තියෙන එකමුතුකමේ මේ බලය බිඳ දමන්න කාටවත් පුළුවන් කමක් නෑ," මනූෂ නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.
හිටපු ජනපතිවරයා ලබා ගත් ඡන්ද 58 ලක්ෂයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දායකත්වයක් නොලැබුණු බැවින් ඔහු ඉවත්වීම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට කිසිදු අභියෝගයක් නොවන බවයි, හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
'ජයගන්නවා'
"අල්පෙනෙති තුඩක අඩුවීමක් මේ 58 ලක්ෂෙට වෙලා නෑ. මේ ප්‍රමානේ තිබුණම හොඳටම ඇති. අපි මේ මැතිවරණ සටන ජයග්‍රහණය කරනවා."
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ඡන්ද ලක්ෂ 62 ක් දිනා දීමට දායක වූ සියලු බලවේග මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින්නේ නොවේදැයි විමසූ විට ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වැනි පාර්ශවකරුවන් දැන් එයින් ඉවත්ව ගොස් ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Manusha Nanayakkara
රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්කේඩීඑස් ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පළාත් සභා මන්ත්‍රීවරිය ඉවත්වීමත් සන්ධානයට කිසිදු පාඩුවක් නොවන බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
"ගිය ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනකොට ඔය කවුරුවත් අපිට හිටියේ නෑනේ? ඔය කට්ටිය කොහොමත් අනිත් පැත්තට නේ වැඩ කළේ? ඔය කිසිම කෙනෙක් 58 ලක්ෂයට වගකිවයුතු ය නෙවෙයි."

මේ අතර ජාවාරම්කරුවන් සන්ධානය වෙනුවෙන් මුදල් විසි කරන බවට චම්පික රණවක අමාත්‍යවරයා ඉරිදා කොළඹ දී එල්ල කළ චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ මනූෂ නානායක්කාර කියා සිටියේ, ජාවාරම්කරුවන් මුදල් විසි කරන්නේ තමන්ට නොව එක්සත් ජාතික පක්ෂයට බවයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී ප්‍රකාශයක් කරමින්.
විශේෂයෙන්ම දූෂණ, වංචා පිළිබඳව ප්‍රසිද්ධියේ එජාපයට චෝදනා කළ චම්පික රණවක අමාත්‍යවරයා දැන් ඒ පක්ෂය සමඟම එක්ව සිටින බවයි එයට ප්‍රතිචාර දක්වමින් සන්ධානයේ ප්‍රකාශකයා කියා සිටියේ.











