නාම යෝජනා අවසන්: විශේෂ ප්‍රවණතා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂයේ අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාරදෙනු ලැබුවේ ශ්‍රිලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින්
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂයේ අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාරදෙනු ලැබුවේ ශ්‍රිලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින්
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල සේවය

අගෝස්තු 17 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම සඳුදා දහවල් දොළහට අවසන් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂයේ අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාරදෙනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හිටපු මන්ත්‍රීවරයා විසින්.

නාම යෝජනා භාර දෙන අවස්ථාවේ හිටපු ජනපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ නොසිටි නමුත්, ඔහු ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණ ආධාරකරුවන් ඇමතීය.

මහ ලේකම්වරයා සහ වයඹ පළාතේ මහ ඇමති දයාසිරි ජයසේකර ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙති.

නාම යෝජනා නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එස්බී නාවින්න අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා භාර දුන් අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු දිස්ත්‍රික්කයේ එජාප ප්‍රධානීහුද එම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනපතිවරයාගේ නම කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුවේ මුලින්ම සඳහන් වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපතිවරයාගේ නම කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුවේ මුලින්ම සඳහන් වේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ සරණ ගුණවර්ධන ට නාම යෝජනා ලබා නොදුන් බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් නිවේදනය කළේය.

මාතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර දුන් අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාගේ නාම යෝජනාවට එරෙහිව විරෝධතාවයක් ඉදිරිපත් වූ නමුත් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කෙරිණ.

මහ මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට සිවිල් සංවිධාන සහ කාන්තා හිමිකම් සංවිධාන උද්ඝෝෂණයක් දියත් කළ නමුත්, ඒ පිළිබඳව ප්‍රධාන පක්ෂවල අවධානය පල වූ හැඩක් නොපෙනේ.

කාන්තා නියෝජනය

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ නිර්දේශයද නොතකා වත්තල නාගරික මන්ත්‍රීනි ජීවනී කාරියවසම් ට නාම යෝජනා ලබා නොදීමට සන්ධානයේ මහ ලේකම්වරයා තීරණය කිරීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචනයට ලක් වී තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන්, විශ්‍රාමික රජයේ සේවකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් නම් කිරීම කැපී පෙනෙන්නක්.

හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ඇතුළු පිරිසක් එම ලැයිස්තුවට නම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් සිය ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර නැත.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසක් උතුරේ මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන්හ.