එකට වැඩ කිරීමට තිබුණා - ශ්‍රීලනිප

ඡායාරූප මූලාශ්‍රය, SLFP
එකට වැඩ කිරීමට හැකියාව තිබියදී එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ගැනීමට නොදෙන බව කියා සිටි පිරිස් දැන් එක්සත් ජාතික පක්ෂය හා එක්වී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න පැවසුවේ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ බලය ලබා ගැනීම බවයි.
එක්සත් ජාතික පක්ෂයට කිසිදිනක එක් නොවන බවත් කිසිදිනක බලය ලබා ගැනීමට නොදෙන බව පැවසූ ජාතික හෙළ උරුමයේ චමිපික රණවක ඇමතිවරයාත්, කවරදාකවත් එක්සත් ජාතික පක්ෂයට එක නොවන බව පැවසූ අතුරලියේ රතන හිමියෝත් එක්සත් ජාතික පක්ෂයට එක්වී සිටින බවයි ඔහු පැවසුවේ.

පක්ෂ ගණනාවක් එසේ එක්වී සිටියත් එම පක්ෂවල ප්‍රතිපත්ති පරස්පර විරෝධී නිසා එවැනි පක්ෂ එක්ව හදන රජයක් කිසිදිනක ස්ථාවර නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න ප්‍රකාශ කළේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට විශාල පිරිසක් එක්වී සිටින බව පැවසූ ඔහු සඳහන් කරන්නේ කිහිප දෙනකු පමණක් නොහැකියාව පල කරන්නේ කුහකකම සහ පෞද්ගලික හේතු මත බවයි .




