සතියක්, දෙකක් තුළ දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් ධුරයේ සිටින්නෙ නැහැ.- මහබැංකු අධිපති

මහ බැංකු අධිපතිවරයා

සතියක් හෝ දෙකක් තුළ දේශපාලන ස්ථාවරයක් ඇති නොවන්නේ නම්, තමා ධුරයේ රැඳී නොසිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (මැයි 11) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මහ බැංකු අධිපතිවරයා, අවධාරණය කළේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර නොගන්නේ නම්, ආර්ථිකය ගොඩනැංවීම කළ නොහැකි බවයි.

මෙරට දේශපාලනය අස්ථාවර වීමේ පළමු සිද්ධිය මිරිහානේ වූ සිදුවීම බව ත් තමන් මහ බැංකු අධිපති ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කළේ ඊට පෙර බව ත් ඔහු සඳහන් කළේය.

ඔහු පැවසුවේ සති දෙකක් වැනි කාලයක් තුළ එම තත්ත්වය ස්ථාවර වනු ඇති බවටත් අනතුරුව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකව කර ගැනීමට හැකි වනු ඇති බවට ත් තමන් බලාපොරොත්තු වූ බව ය.

එහෙත් මේ වන විට පැවති තත්ත්වය උග්‍ර වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා අද (මැයි 11) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ, සියලු දේශපාලන පක්ෂ එකතු වී රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන්ට පමණක් නොව කිසිවෙකුට රට ගොඩගැනීමට නොහැකි බවයි.

"මම මේකේ හිටියා කියලා විසඳුමක් වෙන්නේ නැහැ. ඒක තනියම මට හෝ කවුරු මේ තනතුරට ආවත් මහ බැංකුවක් විසින් තනියම මේ රට ගොඩගැනීමට බැහැ ඒ අත්‍යවශ්‍ය ස්ථාවරත්වය රටේ නැත්නම්. එතකොට රටේ හැමෝම අමාරුවේ වැටෙනවා. හැමෝම අරාජික තත්ත්වයට පත් වෙනවා. එවැනි පාලන ක්‍රමයක මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැහැ.

මම ඒක පැහැදිලිව කියලා තියෙනවා සියලු ම දේශපාලන පක්ෂවලට, ජනාධිපතිතුමා ඇතුළුව හැමෝටම මම ඒ පණිවිඩය දීලා තියෙන්නේ. ගිය සතියේ මේක සිද්ධ වුණාට පස්සේ මම ඒ පණිවිඩය දුන්නා ඒ හැමෝට ම."

මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ "සාමකාමී අරගල කරන අයට නීති විරෝධී ලෙස පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඊට පස්සේ සිදු වෙච්ච සිද්ධි ඒ ආකාරයෙන්ම පිළිගත නොහැකි තත්වයක්. ගෙවල් ගිනි තැබීම, මිනීමැරීම්, නීතිය අතට ගැනීම් යම් යම් කණ්ඩායම්. ඒවට විරුද්ධව යම් කිසි ආකාරයක නීති රාමුව යටතේ කටයුතු නොකිරීම, එහෙම කටයුතු පවතින මොනම රටකවත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න බැහැ. බොහොම අසීරු කාර්යයක්. බොහොම අසීරු කාර්යයක් අපි මෙතෙක් කල් කරගෙන යන අතරතුරේ මේ වගේ දේවල් සිද්ධ වෙනකොට රටේ නීතිය හා සාමය හරියට ක්‍රියාත්මක වෙන් නැති තත්වයක, රටේ යම්කිසි ප්‍රචණ්ඩත්වයක් සිදුවෙමින් පවතිනවා නම් එතනට අවශ්‍ය විදිහට ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන් පවතින් නැත්නම් ඒ රටේ ආර්ථික ස්ථායිතාව හෝ යම් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ එන්න ඒක උදව්වක් වෙන්නැහැ."

ඔහු වැඩිදුර අවධාරණය කළේ, "රටේ ආර්ථිකය ගොඩනැගීමට ස්ථාවර දේශපාලන තත්ත්වයක් පැවතීම අත්‍යාවශ්‍යයි. දැන් අපි පත් වෙලා තියෙන්නේ රටේ අගමැති කෙනෙක් නැති, මුදල් ඇමති කෙනෙක් නැති, පාර්ලිමේන්තුව යම්කිසි ක්‍රියාදාමයක් නැති, විධායක ජනාධිපති වරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය තත්ත්වයක. හැකි ඉක්මනින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක්, රටේ තියෙන්න දැන් තියෙන තත්ත්වය සමථය කළ හැකි නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයට පවත්වාගෙන හැකි රජයක පැවතීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා වගකීම තියෙන්නේ ජනතාව විසින් පත් කරගත්තු ඒ නියෝජිතයින් 225 දෙනාට සහ ජනාධිපතිතුමා කියන ජනතා නියෝජිතයින්ට."