සාමකාමී විරෝධතාකරුවන්ට පහරදෙන්න වටරැක සිරකරුවන් යොදාගත්තා ද?

A Sri Lankan pro government protester celebrates after setting anti-government protester's tents on fire as police officers look on infront of temple trees

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සඳහා වටරැක බන්ධනාගාරයේ රැඳවියන් යොදා ගත්තේ ය යන්න මේ දිනවල සැකයට බඳුන්ව ඇති කාරණාවකි.

මේ සැකය නිර්මාණය වූයේ සිරකරුවන්යැ යි කියන පිරිකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් අනතුරුව ය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කටයුතු යොදා තිබේ.

ජනාධිපති කාර්යාලය අසල සහ අරලියගහ මන්දිරය අසල දී එල්ලවූ ප්‍රහාරයන්ට වටරැක බන්ධනාගාර රැඳවියන් සම්බන්ධ වූයේදැ යි විමසීම සඳහා හෙට දිනයේ දී (මැයි 12) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ තවත් නිලධාරියෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදුන්බවට චෝදනා නගමින් ජනතාව විසින් රඳවාගෙන සිටි පිරිසක් පිළිබඳ වීඩියෝවක් පසුගිය 09 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

"අපි අයියේ අවුරුදු දෙකක් තිස්සේ පුනරුත්ථාපන වැඩසටහන් කරනවා. වටරැක බන්ධනාගාරයේ ඉඳින් අපිව එක්කරන් යනවා වැඩබිම්වලට. අද එක්කන් අවේ ජේලර් රාමනායක මහත්තයා. පුනරුත්ථාපනය වෙන්නේ වටරැක බන්ධනාගාරයේ. සිරකරුවෝ අපි. අපි හිරකාරයෝ," එම දර්ශනවල පෙනෙන්නට සිටි පිරිස අතුරින් එක් පුද්ගලයෙක් කියා සිටිනු දක්නට හැකිවිය.

එනමුත්, මෙම රැඳවියන් උද්ඝෝෂකයින්ට පහරදීමට යොදවා ඇති බවට විවිධ සමාජ මාධ්‍ය මඟින් පතුරවනු ලබන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂර උපුල්දෙණිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එවැනි නීති විරෝධී කිසිදු කටයුත්තකට මෙම රැඳවියන් සහභාගී කරගෙන නොමැති බව තහවුරු කරන්නේයැ යි ද ඔහු සඳහන් කළේ ය.

එහෙත් සමීපව නිරීක්ෂණය කිරීමේ දී වටරැක බන්ධනාගාර රැඳවියන් ඇඳ සිටින කලිසම් හා විරෝධතාකරුවන්ට පහර දුන් පිරිස අතර සිටින පිරිසක් ඇඳ සිටි කලිසම්වල සමානබවක් ඇතැ යි පෙනී යන බවට විරෝධතාකරුවන් පවසයි.

සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සඳහා වටරැක බන්ධනාගාරයේ රැඳවියන් ද යොදා ගත්තේ ද යන පැනය මේ වන විට විවිධ පර්ශව විසින් මතුකරනු ලැබ තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ එතනට ගෙනගිය සිරකරුවන්ගෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇතිබව යි.

"මේ පුනරුත්ථාපනය කරන්න ඕන පුද්ගලයින්ව මේ විදිහට තවදුටත් වැරදිවලට යොදා ගන්නවා නම් අනික් පැත්තට තමා යන්නේ මේක. මෙතෙන්ට පැමිණිච්ච විශාල පිරිසක් මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. මේ පුද්ගලයෝ අතුරුදහන් කළේ තවත් ප්‍රහාරවලට යොදාගන්න ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා," ඔහු පවසයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මෙසේ පැවසුවේ ය: "රැඳවියෝ ඒ විදිහට ඇවිල්ලා ප්‍රකෝපකාරීව හැසිරුන්නැත්නම් නැවත බන්ධනාගාරයට ගියාම ඔවුන්ට දසවධ දෙනවා. මේ සියලුදෙනාම වටරැක බන්ධනාගාරයෙන් අරගෙන මේ විදිහට වැඩබිම්වලට මේගොල්ලෝ කඩලා දානවා. දාලා වහල් සේවයේ යොදවනවා. එහෙම යොදවලා ඊයේ අරලියගහ මන්දිරයට මේ ගෙනියනවා, 181ක් රැඳවියෝ ගෙනියලා. එතන ඇතිවන කෝළහලෙත් එක්ක අපි දැක්කා ඒ රැඳවියන්ව උද්ඝෝෂකයින්ගේ ග්‍රහණයට හසුවෙනවා. උද්ඝෝෂණකරුවෝ ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා පහර දෙන්න ආවම."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

රැඳවියන් රැගෙනගියේ කොහේද?

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂර උපුල්දෙණිය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, බන්ධනාගාර රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදී ඵලදායී ලෙස සමාජගත කිරීමේ අරමුණ පෙරදැරිව වසර ගණනාවක සිට සිදුකරනු ලබන පුනුරුත්ථාපන ක්‍රියාවලියේ එක් ව්‍යාපෘතියක් ලෙස 'වැඩ සහන' ක්‍රමයට අනුව රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ දිනපතා ඉදිකිරීම් ආයතනවල සේවයට යොදවන බව යි.

ඒ සඳහා දීමනාවක් ද එම රැඳවියන්හට හිමිවන බව ඔහු පවසයි.

වටරැක බන්ධනාගාරය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මැයි 9 දා ද කොල්ලුපිටිය සිලක් ආයතනය වෙත රැඳවියන් 30 දෙනෙකු, රාජගිරිය අයිකොනික් ආයතනය වෙත රැඳවියන් 105 දෙනෙකු, හා බත්තරමුල්ල මාගා ආයතනය වෙත රැඳවියන් 45 දෙනෙකු සේවය සඳහා යොදවා තිබූබවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

"2022/05/09 දින පස්වරුවෙහි දිවයිනේ ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ඉදිකිරීම් ආයතනවල සේවයේ යොදවා සිටි නේවාසිකයන් නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන ඒමේ දී මාළඹේ තලාහේන ප්‍රදේශයේ දී කළහකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිසක් විසින් බස්රථවලට ප්‍රහාර එල්ල කර ඇත. එහිදී නේවාසිකයින් බස් රථ වලින් බැස ඇති අතර ඔවුන් ජනතාව අතරට මැදිව ඇත. මෙහිදී බන්ධනාගාර නිළධාරීන්ට හා නේවාසිකයන්ට ද තුවාල සිදුවී ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගතකර ඇත. මෙම සිදුවීමේ දී නේවාසිකයින් 193 දෙනෙකු ආරක්ෂිතව රඳවා ගැනීමට හැකියාව ලැබී ඇති අතර නේවාසිකයින් 58 දෙනෙකු මඟහැරී ඇත," බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රකාශයෙහි සඳහන් ය.

දැනට බන්ධනාගාර ආරක්ෂාවෙන් බැහැරව සිටින නේවාසිකයින් 58 දෙනා පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම්, ඔවුනට කිසිදු හිංසාවක් සිදුනොකර නැවත බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.