කොවිඩ්: ශ්‍රී ලංකාවේ වර්ථමාන තත්ත්වය කෙසේ ද?

Sri Lanka COVID roundup

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 9,300 ඉක්මවා ඇති අතර, මුළු ආසාදිතයන් ගණන හාරලක්ෂ හතළිස් පන්දහසකට ආසන්න වේ.

ආසාදිතයන් 59,000කට ආසන්න පිරිසක් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර, තවත් බොහෝ දෙනෙක් නිවෙස්වල ස්වයං නිරෝධායනය වෙමින් සිටිති.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සැප්තැම්බර් 1 දා පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ, දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වීමේ අවදානමක් ඇති බවය.

බීටා නමින් හඳුන්වන දකුණු අප්‍රිකානු ප්‍රභේදය මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් විස්සකට වැඩි ප්‍රමාණයකින් වාර්තා වී තිබේ.

ලොක්ඩවුන් දීර්ඝ කරන්න

දිවයින පුරා කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීමට නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකකින් හෝ දීර්ඝ කළ යුතු යැයි තම පෞද්ගලික මතය බව රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

කොවිඩ් රෝගීන්ගේ සහ මරණවල සැලකිය යුතු අඩුවක් මෙතෙක් පෙනෙන්නට නැති අතර රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ජනතාව ඒකරාශීවීම වළක්වන නීති තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමතිවරිය පැවසීය.

Sri Lanka COVID roundup

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකඩවුන් වූ කොළඹ කොටුවේ දර්ශනයක්

කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුව ද සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටිය හැකි බව විශේෂඥ මතය වන අතර පවුල් පිටින් කොවිඩ් ආසාදනයවන තත්වයක් පෙනෙන්නට ඇති බව ද ඇය පැවසුවාය.

කෙසේනමුත්, දැනට පවතින තත්වය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කළද එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි දෙයක් වන අතර, ඉදිරියේදී ජනතාවට කොවිඩ් රෝගයට අනුගතව සෞඛ්‍යාරක්ෂිතව ජීවත්වීමට සිදුවනු ඇති බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ තවදුරටත් පැවසීය.

ඔක්සිජන් නැතිව කිසිදු රෝගියෙකුට මියැදෙන්න ඉඩ දෙන්නේ නෑ

ඔක්සිජන් නැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ නියෝජිතයන් සමඟ සූම් තාත්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

Sri Lanka COVID roundup

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනී පෙට්ට් සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කළේය.

අද වන විට මෙරට කොවිඩ් මර්දනය උදෙසා රටවල් රැසක සහයෝගය ලැබෙමින් පවතින බවද ඒ වෙනුවෙන් "ප්‍රණාමය පුද කරන බවද" අමාත්‍යවරයා පැවසීය.

මේ තොරතුරු ද කියවන්න:

'දෙසතියකින් පසු කොවිඩ් මරණවල අඩුවක්'

කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි සති දෙක තුළ දකින්නට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

සෞඛ්‍ය අංශවලට පමණක් කොවිඩ් වෛරසය පරාජය කළ නොහැකි අතර ඒ සඳහා ජනතාවගේ සහයෝගය උපරිමයෙන් ලැබිය යුතු බව ද ඔහු පැවසුවේය.

දේශීය ශාකසාර සංඝටක 21 ක් අඩංගු මුව ආවරණයක්

පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියළිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා සැකසූ මුව ආවරණයක් (Herbal Mask) එළිදැක්වීමට නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි ක්‍රියා කර තිබේ.

මෙම මුව ආවරණය සමන් හෙට්ටිආරච්චි සෞඛ්‍ය අමාතයංශයේදී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වෙත පිළිගන්වා තිබේ.

නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සඳහා අදාළ පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් මෙහෙයවනු ලබන 'සහසක් නිමැවුම්' තරඟාවලියෙන් රන් සම්මානයද දිනා ඇති අතර, සහසක් නිමැවුම් ජාත්‍යන්තර තරඟාවලියේ හොඳම නව නිපැයුම ලෙසද තෝරාගෙන ඇති බව රජයේ නිල පුවත් වෙබ් අඩවියේ සඳහන් වේ.

Sri Lanka COVID roundup

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා පුද්ගලයන් දිගු පෝලිම්වල සිටිනු දක්නට ලැබේ.
People stand in a queue to buy kerosene oil used in cooking stoves in Colombo on August 31, 2021 following Sri Lanka's declaration of state of emergency over food shortages as private banks ran out of foreign exchange to finance imports.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මැති ඇමැතිවරු 27කට කොවිඩ්

මේ දක්වා මැති ඇමැතිවරු 27 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළදී ඇති බවට වාර්තා වේ.

එමෙන්ම, කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් තවත් මැති ඇමතිවරු 80ක් පමණ නිරෝධානයට යොමුවී තිබේ.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අඩු වීමක්

කොවිඩ් ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවැසීය.

ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් වනවිට 959ක් දක්වා පහත බැස ඇති අතර, එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවද වෛද්‍යවරයා පැවසීය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා තවත් මධ්‍යස්ථාන 259ක් අලුතින් පිහිටවූ බව ද වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

'එන්නත ඉක්මණින් ලැබෙයි'

වයස අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මට්ටමින් ලබා දීම උපරිමයෙන්, විධිමත් අයුරින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට දෙවෙනි මාත්‍රාව ලබා දීම සිදුවන අතර එය නියමිත දිනට නියමිත ස්ථානයේම නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එළඹෙන මුල් සතියේ එන්නත් මිලියන 04 ක් ලැබීමට නියමිත අතර එමගින් අවුරුදු 30 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් අමාත්‍යවරයා හා සමග පැවති සාකච්ඡාවේ දී පැවසූහ.

තවත් තොරතුරු: